Monday, December 17, 2018

ඉදිරියේදී ලංකාවට ආහාර අර්බුදයක් ඒවිද?



මෙම ලිපිය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම බලපා ඇති පලිබෝධක තර්ජනයක් පිළිබඳවය. Fall Armyworm ලෙස ඉංග්‍රීසි බසින් හැඳින් වෙන සත්වයාගේ කීට අවස්ථාව, එනම් පණු/දළඹු අවස්ථාවේදී ශ්‍රී ලාංකික ගොවීන්ගේ භෝග වලට කරන දැවැන්ත විනාශයක් ගැන මේ වන විට රට පුරා තොරතුරු වාර්තා වේ. මෙම සත්ත්වයා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Spodoptera Frugiperda ය. මෙම සත්ත්වයාට ශ්‍රී ලංකාවේ "සේනා දළඹුවා" ලෙස හැඳින්වේ.

මෙම සත්වයන් හට එක් රැයකදී අක්කර සිය ගණනක වගාවක් වුවද විනාශ කළ හැකි බව සඳහන් වනවා. එමෙන්ම මෙම දළඹුවා/පණුවා ගේ තර්ජනයට භෝග වර්ග 180ක් පමණ ලක් වී තිබෙනවා. එම 180 අතරට වී, බඩඉරිඟු, මුං ඇට, එළවළු සහ පළතුරු වර්ග රැසක් අයත් වෙනවා.

මෙම දළඹුවා මුලින්ම හමුවී ඇත්තේ ඇමරිකාවෙන්. 2016 වසරේදී මෙම දළඹුවා අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 40ක පමණ අක්කර දහස් ගණනක වගාවන් විනාශ කර දැමූ බව වාර්තා වනවා. ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රබල තර්ජනයක් වූ මෙම පලිබෝධ හානිය මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන සහ කෘෂිකර්ම සංවිධානය ඔවුන්ගේ අයවැයෙන් ඩොලර් මිලියන නවයක් පමණ වෙන් කර තිබෙනවා. එමෙන්ම මිලියන 12ක පමණ අරමුදල් රැස් කර තිබෙනවා.

මෙම පලිබෝධකයා ගේ හානිය මුලින්ම අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ වාර්තා වන්නේ මෙම වසරේ (2018) අගෝස්තු මාසයේ දීය. ඒ සමඟම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වයඹ සහ උතුරු මැද පළාත් වල ගොවීන් හට අනාගතයේ සිදු විය හැකි වගා හානියක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. මේ වන විට ශ්‍රී ලංකාවේ අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව, ගල්ගමුව, රාජාංගනය, තඹුත්ත සහ ගම්පොළ ප්‍රදේශ වලින් "සේනා දළඹුවා" නමැති මෙම පලිබෝධකයාගේ හානිය වාර්තා වනවා.

මෙම දළඹුවාගේ නිජබිම් ලෙස සලකන්නේ ඇමරිකානු නිවර්තන සහ අර්ධ ශුෂ්ක කලාපීය ප්‍රදේශයි. Fall Armyworm නම් මෙම පලිබෝධකයා එහිදීද සැලකිය යුතු අස්වනු හානියක් සිදුකර තිබේ. මෙම පලිබෝධකයා අප්‍රිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූ ආකාරය ගැන සඳහනක් නැතත් මොවුන් ඇමරිකාවේ සිට ගුවන් යානා සමඟ පැමිණ ඇති බව විශ්වාස කරයි. හේතු කාරණා කීපයක් නිසා මෙම පලිබෝධකයා වඳ කර දැමීම කළ නොහැක්කක් බවට පත්ව තිබෙනවා.

සේනා දළඹුවා නම් මෙම පලිබෝධකයා බඩඉරිඟු භෝගයට වැඩි කැමැත්තක් දක්වන අතර තවත් බොහෝ භෝග වර්ගද මෙම සත්ත්වයාගේ කීට අවස්ථාවේදී ආහාරයට ගන්නා බව දැක්වෙනවා. පිළා අවස්ථාවට පත් වීමට පෙර, සාමාන්‍ය පණුවන් හා දළඹුවන් මෙන් මෙම පණුවාත් විශාල වශයෙන් ආහාර පරිභෝජනය කරනවා. එම ආහාර වලට බොහෝවිට අයත් වන්නේ බඩඉරිඟු ශාකයේ පත්‍ර සහ නොයෙක් භෝග වර්ග වල පත්‍ර සහ ලපටි දඬු ආදියයි. එමෙන්ම, වායු ධාරා වල උපකාරයද සහිතව මෙම සත්ත්වයාගේ සලබ අවස්ථාවේදී, එක් රැයකට කිලෝමීටර් 100ක් පමණ පියඹා යාමට හැකි බව දැක්වෙනවා. එමෙන්ම මෙම දළඹුවා හට විවිධ කාලගුණ සහ දේශගුණික තත්ව වලට අනුවර්තනය වීමට හැකි බව සඳහන්. සීග්‍රයෙන් බෝ වන මෙම සත්ත්වයා හට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්ද පිහිටා තිබෙනවා.

මෙම දළඹුවා කීට අවස්ථාවේදී හඳුනා ගත හැකි ලක්ෂණ ලෙස හිසේ ඇති යටිකුරු වූ Y අකුර හැඩති සලකුණත්, පසුපස කෙළවර කොටු හැඩයක් එන ලෙසට සටහන් වූ තිත් හතරක් දැක්විය හැකියි. ආහාර පරිභෝජනය අනුව මොවුන්ගේ ජීවන චක්‍රය දින 20 සිට දින 40 දක්වා වනවා. සලබ අවස්ථාවේදී මෙම සත්ත්වයා නිශාචර ලෙස සැරිසරනවා.

මර්දනය

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, පලිබෝධක කළමනාකරණ අංශයේ අතිරේක අධ්‍යක්ෂිකා ආචාර්ය දයානි පෙරේරා පවසන පරිදි Fall Armyworm නොහොත් සේනා දළඹුවා හට කෘමිනාශක සඳහාද ඔරොත්තු දිය හැකිය. මෙම පලිබෝධකයා වඳ කර දැමීම ගොවීන් හට ඉතාමත් දුෂ්කර වී තිබෙනවා. බඩඉරිඟු වැනි ශාක වල පත්‍ර ආහාරයට ගැනීමෙන් පසු මොවුන් ශාකයේ කඳ ප්‍රදේශයේ සැඟවී සිටින බැවින් ඔවුන්ට පලිබෝධ නාශක යෙදීමද ගැටළුවක් වී තිබෙනවා. මෙම දළඹුවා මැඩලීම සඳහා ස්ථිර විසඳුමක් අදාළ ආයතන මඟින් සොයාගන්නා තුරු, ක්ෂේත්‍රයේ සිටින කීටයන් අල්ලා ඉවත් කිරීම සිදු කරන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. නමුත් බඩඉරිඟු වගාබිම් අක්කර 4ක් 5ක් හෝ ඊටත් විශාල ලෙස තිබෙන බැවින් ප්‍රායෝගිකව එම කාර්ය සිදු කිරීම අතිශයින් දුෂ්කර කාර්යයක් වී තිබෙනවා.

එසේත් නැතිනම් Spodoptera කුලයට අයත් පලිබෝධකයන් සඳහා යොදාගත හැකි ආකාරයේ කෘමිනාශක වර්ග යෙදීමද විසඳුමක් ලෙස දැක්වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට රට පුරා ගොවීන් දැණුවත් කිරීමේ වැඩසහන් ක්‍රියාත්මක කර ඇති අතර ලොව පුරා විද්‍යාඥයන් මෙම පලිබෝධ උවදුර මැඩලීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මේ වන විට මෙම පලිබෝධක තර්ජනයට මුහුණපා ඇති රටවල මේ උවදුරෙන් වැළකීමේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා අතර ප්‍රධාන වශයෙන් පෙර සූදානම් කිරීමේ දැනුවත් කිරීම්, තොරතුරු සන්නිවේදන කිරීම් සහ අතිශය ප්‍රබල රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම, සහ ජෛවීය ක්‍රම මඟින් මෙම පලිබෝධකයින් මර්දනය  කිරීම ප්‍රචලිත කිරීමද අයත්. මෙම ව්‍යාපෘති මඟින් සමාජ ආර්ථික හානි මෙන්ම වගා හානි අවම කරගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම Fall Armyworm නමැති පලිබෝධකයාගේ ගහණයේ වැඩි වීමත් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරනු ලබන්නේ Integrated Pest Management නොහොත් සමෝධානික පලිබෝධ පාලන ක්‍රමවේදය, තාක්ෂණික සහය මඟින් පලිබෝධකයා පාලනය, පූර්ව සූදානම වැඩි කිරීම, සන්නිවේදනය සහ ඒකරාශි වීම සහ ශක්‍යතාව ගොඩනැගීම ආදියයි. පලිබෝධ කළමනාකරණ අංශය විසින් කුඩා පරිමාණ ගොවියන් හට මෙම උවදුර හා ගැටීමට උපකාර වන බව සඳහන්.

පසු සටහන

වෙළඳපලේ මෙම දළඹුවා මර්දනයට ජනප්‍රිය වී ඇති "කොරජන්" (Coregen) නොහොත් Chlorantraniliprole රසායනික ද්‍රව්‍ය අඩංගු කෘමිනාශක වලටද මොවුන්ගේ යම් ඔරොත්තු දීමක් දක්නට ලැබෙනවා. ගොවීන් පවසන ආකාරයට මෝටීන් දියර ස්ප්‍රේ කිරීම, මැලතියන් යෙදීම මඟින් යම් පාලනයක් සිදුකළ හැකිය. නමුත් විශාල ප්‍රදේශයක පැතිරී ඇති බඩඉරිඟු වැනි වගාවන් සඳහා මෙම පලිබෝධ නාශක යෙදීමේදී විශාල ලෙස ප්‍රායෝගික ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

බොහොමයක් ඌව සහ නැගෙනහිර පළාත්වල ගොවීන් තමන්ගේ වගාබිම් බේරා ගැනීමට කළ දැඩි පරිශ්‍රමයෙන් පසුව තමන්ගේ වගාබිම් අත් හැර දැමීමට පෙළඹී තිබෙනවා. එමෙන්ම බොහෝ ගොවීන් විකල්ප භෝග සඳහා යොමු වීමට උත්සාහ දරමින් සිටිනවා. නමුත් මෙම දළඹුවාගෙන් වන හානිය ලංකාවේ ගොවීන් වගා කරන සියළුම භෝග වර්ග වලටම පාහේ පොදු බැවින් විකල්ප භෝගයක් තෝරා ගැනීමද අතිශය දුෂ්කර කාර්යයක් වී තිබේ. ලංකාවේ බොහෝ පළාත් වල සිදු කරන පරිදි වෙළෙන්දන්ගෙන් ණය ලබාගෙන, වියහියදම් කර බොහෝ අසීරුවෙන් බිම් සකස් කර, බීජ මිළදීගෙන, ඒවා සිටුවා ගැනීමෙන් පසු සිදුවන මෙම හානිය ජන ජීවිතයට විශාල තර්ජනයක් වී තිබෙනවා. එමෙන්ම මෙම පලිබෝධකයා වඳ කර දැමීමට උත්සාහ කරමින් කෘමිනාශක ඉසිමින් සිටි ගොවියෙක් මරණයට පත් වීමක්ද අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. මේ වන තෙක්ම මෙම උවදුර සඳහා නිශ්චිත පිළියමක් ගැන තොරතුරක් නොමැති වීමෙන් ගොවියන්ද විවිධ පලිබෝධ නාශක වර්ග අත්හදාබලමින් පවතිනවා.

1920 ගොවි උපකාරක සේවාවට ඇමතීමේදී අපහට ලැබුණු පිළිතුර වූයේ Coregen නමැති කෘමිනාශකය භාවිතා කරන ලෙසයි. නමුත් එය එතරම් සාර්ථක නොමැති බව අප සඳහන් කළ පසු පැවසූයේ ඉරිඟු පැළයෙන් පැළය පරීක්ෂා කර පලිබෝධකයා විනාශ කිරීම වඩා සුදුසු බවයි. නමුත් බඩඉරිඟු අක්කර 4ක්, 5ක් වගා කරන ගොවීන් හට එය ඉතාමත් අසීරුය. ගොයම් වගාව සඳහා එය කිසිසේත් කළ නොහැකි දෙයකි.

රාත්‍රි කාලයේ වගාවන් මධ්‍යයේ ලාම්පු දල්වා, ඒ ආසන්නයේ ජල බඳුන් තබා අදාළ පලිබෝධකයා සලබ අවස්ථාවේ විනාශ කිරීමත් නැගෙනහිර සහ ඌව පළාත් වල ගොවියන් අත්හදාබලමින් සිටී. කෙසේ නමුත් මෙතෙක් කිසිම සාර්ථක පිළියමක් පෙනන තෙක් මානයක නැත.

දැනට මේ ගැන ලාංකීය ජනතාවට වැටහීමක් නැතත් ඉදිරියේදී සිදුවිය හැකි ආහාර අර්බුදයක් ගැන සැක පහළ වී තිබෙනවා. මේ ලිපිය ලියන මා ද ප්‍රායෝගිකව මෙම හානිය දෑසින් දැක ඇති බැවින් මෙහි ඇති බරපතළ ස්වභාවය ගැන අවබෝධයක් ලබාගත හැකි වුණා. මේ වන තෙක්ම කිසිම පිළියමක් නොමැතිව අසරණව සිටින ගොවියන්ද මුණගැසී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කළ දැනුවත් කිරීම් නිසි ලෙස සිදුවී නොමැති බව ගොවියන් සමඟ කළ සාකච්ඡා මඟින් මා හට පෙනුණා. මේ ගැන අදාළ දැණුවත් කිරීම් සහ පරීක්ෂණ ඉක්මනින්ම සිදු නොවුණහොත්, අනාගතයේ විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට අපට සිදුවනු ඇති.

- Sunday Observer පුවත්පතේ මන්දිරා විජේරත්න විසින් ලියූ ලිපියක් සහ මාගේ ප්‍රායෝගික නිරීක්ෂණ ඇසුරින් සකස් කළෙමි.
Share:

0 comments:

Post a Comment

Search This Blog

Follow by Email