Monday, December 17, 2018

ඉදිරියේදී ලංකාවට ආහාර අර්බුදයක් ඒවිද?



මෙම ලිපිය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම බලපා ඇති පලිබෝධක තර්ජනයක් පිළිබඳවය. Fall Armyworm ලෙස ඉංග්‍රීසි බසින් හැඳින් වෙන සත්වයාගේ කීට අවස්ථාව, එනම් පණු/දළඹු අවස්ථාවේදී ශ්‍රී ලාංකික ගොවීන්ගේ භෝග වලට කරන දැවැන්ත විනාශයක් ගැන මේ වන විට රට පුරා තොරතුරු වාර්තා වේ. මෙම සත්ත්වයා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Spodoptera Frugiperda ය. මෙම සත්ත්වයාට ශ්‍රී ලංකාවේ "සේනා දළඹුවා" ලෙස හැඳින්වේ.

මෙම සත්වයන් හට එක් රැයකදී අක්කර සිය ගණනක වගාවක් වුවද විනාශ කළ හැකි බව සඳහන් වනවා. එමෙන්ම මෙම දළඹුවා/පණුවා ගේ තර්ජනයට භෝග වර්ග 180ක් පමණ ලක් වී තිබෙනවා. එම 180 අතරට වී, බඩඉරිඟු, මුං ඇට, එළවළු සහ පළතුරු වර්ග රැසක් අයත් වෙනවා.

මෙම දළඹුවා මුලින්ම හමුවී ඇත්තේ ඇමරිකාවෙන්. 2016 වසරේදී මෙම දළඹුවා අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 40ක පමණ අක්කර දහස් ගණනක වගාවන් විනාශ කර දැමූ බව වාර්තා වනවා. ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රබල තර්ජනයක් වූ මෙම පලිබෝධ හානිය මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන සහ කෘෂිකර්ම සංවිධානය ඔවුන්ගේ අයවැයෙන් ඩොලර් මිලියන නවයක් පමණ වෙන් කර තිබෙනවා. එමෙන්ම මිලියන 12ක පමණ අරමුදල් රැස් කර තිබෙනවා.

මෙම පලිබෝධකයා ගේ හානිය මුලින්ම අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ වාර්තා වන්නේ මෙම වසරේ (2018) අගෝස්තු මාසයේ දීය. ඒ සමඟම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වයඹ සහ උතුරු මැද පළාත් වල ගොවීන් හට අනාගතයේ සිදු විය හැකි වගා හානියක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. මේ වන විට ශ්‍රී ලංකාවේ අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව, ගල්ගමුව, රාජාංගනය, තඹුත්ත සහ ගම්පොළ ප්‍රදේශ වලින් "සේනා දළඹුවා" නමැති මෙම පලිබෝධකයාගේ හානිය වාර්තා වනවා.

මෙම දළඹුවාගේ නිජබිම් ලෙස සලකන්නේ ඇමරිකානු නිවර්තන සහ අර්ධ ශුෂ්ක කලාපීය ප්‍රදේශයි. Fall Armyworm නම් මෙම පලිබෝධකයා එහිදීද සැලකිය යුතු අස්වනු හානියක් සිදුකර තිබේ. මෙම පලිබෝධකයා අප්‍රිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූ ආකාරය ගැන සඳහනක් නැතත් මොවුන් ඇමරිකාවේ සිට ගුවන් යානා සමඟ පැමිණ ඇති බව විශ්වාස කරයි. හේතු කාරණා කීපයක් නිසා මෙම පලිබෝධකයා වඳ කර දැමීම කළ නොහැක්කක් බවට පත්ව තිබෙනවා.

සේනා දළඹුවා නම් මෙම පලිබෝධකයා බඩඉරිඟු භෝගයට වැඩි කැමැත්තක් දක්වන අතර තවත් බොහෝ භෝග වර්ගද මෙම සත්ත්වයාගේ කීට අවස්ථාවේදී ආහාරයට ගන්නා බව දැක්වෙනවා. පිළා අවස්ථාවට පත් වීමට පෙර, සාමාන්‍ය පණුවන් හා දළඹුවන් මෙන් මෙම පණුවාත් විශාල වශයෙන් ආහාර පරිභෝජනය කරනවා. එම ආහාර වලට බොහෝවිට අයත් වන්නේ බඩඉරිඟු ශාකයේ පත්‍ර සහ නොයෙක් භෝග වර්ග වල පත්‍ර සහ ලපටි දඬු ආදියයි. එමෙන්ම, වායු ධාරා වල උපකාරයද සහිතව මෙම සත්ත්වයාගේ සලබ අවස්ථාවේදී, එක් රැයකට කිලෝමීටර් 100ක් පමණ පියඹා යාමට හැකි බව දැක්වෙනවා. එමෙන්ම මෙම දළඹුවා හට විවිධ කාලගුණ සහ දේශගුණික තත්ව වලට අනුවර්තනය වීමට හැකි බව සඳහන්. සීග්‍රයෙන් බෝ වන මෙම සත්ත්වයා හට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්ද පිහිටා තිබෙනවා.

මෙම දළඹුවා කීට අවස්ථාවේදී හඳුනා ගත හැකි ලක්ෂණ ලෙස හිසේ ඇති යටිකුරු වූ Y අකුර හැඩති සලකුණත්, පසුපස කෙළවර කොටු හැඩයක් එන ලෙසට සටහන් වූ තිත් හතරක් දැක්විය හැකියි. ආහාර පරිභෝජනය අනුව මොවුන්ගේ ජීවන චක්‍රය දින 20 සිට දින 40 දක්වා වනවා. සලබ අවස්ථාවේදී මෙම සත්ත්වයා නිශාචර ලෙස සැරිසරනවා.

මර්දනය

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, පලිබෝධක කළමනාකරණ අංශයේ අතිරේක අධ්‍යක්ෂිකා ආචාර්ය දයානි පෙරේරා පවසන පරිදි Fall Armyworm නොහොත් සේනා දළඹුවා හට කෘමිනාශක සඳහාද ඔරොත්තු දිය හැකිය. මෙම පලිබෝධකයා වඳ කර දැමීම ගොවීන් හට ඉතාමත් දුෂ්කර වී තිබෙනවා. බඩඉරිඟු වැනි ශාක වල පත්‍ර ආහාරයට ගැනීමෙන් පසු මොවුන් ශාකයේ කඳ ප්‍රදේශයේ සැඟවී සිටින බැවින් ඔවුන්ට පලිබෝධ නාශක යෙදීමද ගැටළුවක් වී තිබෙනවා. මෙම දළඹුවා මැඩලීම සඳහා ස්ථිර විසඳුමක් අදාළ ආයතන මඟින් සොයාගන්නා තුරු, ක්ෂේත්‍රයේ සිටින කීටයන් අල්ලා ඉවත් කිරීම සිදු කරන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. නමුත් බඩඉරිඟු වගාබිම් අක්කර 4ක් 5ක් හෝ ඊටත් විශාල ලෙස තිබෙන බැවින් ප්‍රායෝගිකව එම කාර්ය සිදු කිරීම අතිශයින් දුෂ්කර කාර්යයක් වී තිබෙනවා.

එසේත් නැතිනම් Spodoptera කුලයට අයත් පලිබෝධකයන් සඳහා යොදාගත හැකි ආකාරයේ කෘමිනාශක වර්ග යෙදීමද විසඳුමක් ලෙස දැක්වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට රට පුරා ගොවීන් දැණුවත් කිරීමේ වැඩසහන් ක්‍රියාත්මක කර ඇති අතර ලොව පුරා විද්‍යාඥයන් මෙම පලිබෝධ උවදුර මැඩලීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මේ වන විට මෙම පලිබෝධක තර්ජනයට මුහුණපා ඇති රටවල මේ උවදුරෙන් වැළකීමේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා අතර ප්‍රධාන වශයෙන් පෙර සූදානම් කිරීමේ දැනුවත් කිරීම්, තොරතුරු සන්නිවේදන කිරීම් සහ අතිශය ප්‍රබල රසායන ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම, සහ ජෛවීය ක්‍රම මඟින් මෙම පලිබෝධකයින් මර්දනය  කිරීම ප්‍රචලිත කිරීමද අයත්. මෙම ව්‍යාපෘති මඟින් සමාජ ආර්ථික හානි මෙන්ම වගා හානි අවම කරගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම Fall Armyworm නමැති පලිබෝධකයාගේ ගහණයේ වැඩි වීමත් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරනු ලබන්නේ Integrated Pest Management නොහොත් සමෝධානික පලිබෝධ පාලන ක්‍රමවේදය, තාක්ෂණික සහය මඟින් පලිබෝධකයා පාලනය, පූර්ව සූදානම වැඩි කිරීම, සන්නිවේදනය සහ ඒකරාශි වීම සහ ශක්‍යතාව ගොඩනැගීම ආදියයි. පලිබෝධ කළමනාකරණ අංශය විසින් කුඩා පරිමාණ ගොවියන් හට මෙම උවදුර හා ගැටීමට උපකාර වන බව සඳහන්.

පසු සටහන

වෙළඳපලේ මෙම දළඹුවා මර්දනයට ජනප්‍රිය වී ඇති "කොරජන්" (Coregen) නොහොත් Chlorantraniliprole රසායනික ද්‍රව්‍ය අඩංගු කෘමිනාශක වලටද මොවුන්ගේ යම් ඔරොත්තු දීමක් දක්නට ලැබෙනවා. ගොවීන් පවසන ආකාරයට මෝටීන් දියර ස්ප්‍රේ කිරීම, මැලතියන් යෙදීම මඟින් යම් පාලනයක් සිදුකළ හැකිය. නමුත් විශාල ප්‍රදේශයක පැතිරී ඇති බඩඉරිඟු වැනි වගාවන් සඳහා මෙම පලිබෝධ නාශක යෙදීමේදී විශාල ලෙස ප්‍රායෝගික ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

බොහොමයක් ඌව සහ නැගෙනහිර පළාත්වල ගොවීන් තමන්ගේ වගාබිම් බේරා ගැනීමට කළ දැඩි පරිශ්‍රමයෙන් පසුව තමන්ගේ වගාබිම් අත් හැර දැමීමට පෙළඹී තිබෙනවා. එමෙන්ම බොහෝ ගොවීන් විකල්ප භෝග සඳහා යොමු වීමට උත්සාහ දරමින් සිටිනවා. නමුත් මෙම දළඹුවාගෙන් වන හානිය ලංකාවේ ගොවීන් වගා කරන සියළුම භෝග වර්ග වලටම පාහේ පොදු බැවින් විකල්ප භෝගයක් තෝරා ගැනීමද අතිශය දුෂ්කර කාර්යයක් වී තිබේ. ලංකාවේ බොහෝ පළාත් වල සිදු කරන පරිදි වෙළෙන්දන්ගෙන් ණය ලබාගෙන, වියහියදම් කර බොහෝ අසීරුවෙන් බිම් සකස් කර, බීජ මිළදීගෙන, ඒවා සිටුවා ගැනීමෙන් පසු සිදුවන මෙම හානිය ජන ජීවිතයට විශාල තර්ජනයක් වී තිබෙනවා. එමෙන්ම මෙම පලිබෝධකයා වඳ කර දැමීමට උත්සාහ කරමින් කෘමිනාශක ඉසිමින් සිටි ගොවියෙක් මරණයට පත් වීමක්ද අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. මේ වන තෙක්ම මෙම උවදුර සඳහා නිශ්චිත පිළියමක් ගැන තොරතුරක් නොමැති වීමෙන් ගොවියන්ද විවිධ පලිබෝධ නාශක වර්ග අත්හදාබලමින් පවතිනවා.

1920 ගොවි උපකාරක සේවාවට ඇමතීමේදී අපහට ලැබුණු පිළිතුර වූයේ Coregen නමැති කෘමිනාශකය භාවිතා කරන ලෙසයි. නමුත් එය එතරම් සාර්ථක නොමැති බව අප සඳහන් කළ පසු පැවසූයේ ඉරිඟු පැළයෙන් පැළය පරීක්ෂා කර පලිබෝධකයා විනාශ කිරීම වඩා සුදුසු බවයි. නමුත් බඩඉරිඟු අක්කර 4ක්, 5ක් වගා කරන ගොවීන් හට එය ඉතාමත් අසීරුය. ගොයම් වගාව සඳහා එය කිසිසේත් කළ නොහැකි දෙයකි.

රාත්‍රි කාලයේ වගාවන් මධ්‍යයේ ලාම්පු දල්වා, ඒ ආසන්නයේ ජල බඳුන් තබා අදාළ පලිබෝධකයා සලබ අවස්ථාවේ විනාශ කිරීමත් නැගෙනහිර සහ ඌව පළාත් වල ගොවියන් අත්හදාබලමින් සිටී. කෙසේ නමුත් මෙතෙක් කිසිම සාර්ථක පිළියමක් පෙනන තෙක් මානයක නැත.

දැනට මේ ගැන ලාංකීය ජනතාවට වැටහීමක් නැතත් ඉදිරියේදී සිදුවිය හැකි ආහාර අර්බුදයක් ගැන සැක පහළ වී තිබෙනවා. මේ ලිපිය ලියන මා ද ප්‍රායෝගිකව මෙම හානිය දෑසින් දැක ඇති බැවින් මෙහි ඇති බරපතළ ස්වභාවය ගැන අවබෝධයක් ලබාගත හැකි වුණා. මේ වන තෙක්ම කිසිම පිළියමක් නොමැතිව අසරණව සිටින ගොවියන්ද මුණගැසී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කළ දැනුවත් කිරීම් නිසි ලෙස සිදුවී නොමැති බව ගොවියන් සමඟ කළ සාකච්ඡා මඟින් මා හට පෙනුණා. මේ ගැන අදාළ දැණුවත් කිරීම් සහ පරීක්ෂණ ඉක්මනින්ම සිදු නොවුණහොත්, අනාගතයේ විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට අපට සිදුවනු ඇති.

- Sunday Observer පුවත්පතේ මන්දිරා විජේරත්න විසින් ලියූ ලිපියක් සහ මාගේ ප්‍රායෝගික නිරීක්ෂණ ඇසුරින් සකස් කළෙමි.
Share:

Wednesday, December 5, 2018

Online Privacy නොහොත් අන්තර්ජාල පෞද්ගලිකත්වය

ඔයා ඔයාගේ පෞද්ගලිකත්වය ගැන කොච්චර සැලකිලිමත් ද?

අපි මෙහෙම පටන්ගනිමු. ඔයාට තැපෑලෙන් ලියුමක් ලැබුණා කියලා හිතමු. ඔයාගෙ අතට ලියුම ලැබෙනකොට ඔයා දකිනවා ඒ ලියුමේ අලවපු තැන් ඔයාට කලින් කවුරු හරි කඩලා කියවලා කියලා. පැහැදිලිවම ලියුම වෙන කෙනෙක් කඩලා ඔයාට කලින් කියවලා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. ඔයා මොකක්ද හිතන්නෙ එතකොට? සතුටක් දැනේවිද?

"අනේ මට ආපු ලියුම වෙන එකෙක් මට හොරෙන් කඩලා කියවලා අනේ ෂෝයි."

කියලා හිතනවද? ලියුමෙ අන්තර්ගතය මොකක් වුණත්, ඒක කවුරු හරි කියවලා කියලා දැනගත්තම සතුටක් එනවද? හරි අපි හිතමුකො ඒක වෙන කෙනෙක් කියෙව්වට කමක් නැති නොවැදගත් ලියුමක් කියලා. ඒත් ඔයාට ලැබෙන ඊළඟ ලියුම බොහොම රහසිගත එකක් වුණොත්? ක්‍රෙඩිට් කාඩ් පින් එකක් එවපු ලියුමක් වුණොත්? එකපාරක් වුණ දේ ආයෙත් වෙන්න බැරි නැහැ නේද?

ඒ වගේ දෙයක් වුණොත් ඔයා කලබල වෙලා තැපැල් කන්තෝරුවට පැමිණිලි කරන්න වුණත් පෙළඹෙන්න පුළුවන්. මේ භෞතික ලෝකයේ වෙන ඒ වගේ දේවල් ගැන ඔයා ගොඩක් සංවේදී නේද? ඒත් ඩිජිටල් ලෝකෙ දිහාවට ආවොත්? ඔයාගෙ ඊමේල් එකක් ඔයාට හොරෙන් කවුරු හරි කියවලා නම්...? භෞතික ලෝකයේ වගේ ඔයාට විද්‍යුත් ලිපියක් කඩපු තැනක් හොයාගන්න බැහැ නේ නේද?

ඒත් ඔයා මෙන්න මේක දැනගන්න, ඔයා පාවිච්චි කරන්නෙ ගූගල්, මයික්‍රෝසොෆ්ට්, යාහූ වගේ ඊමේල් අකවුන්ට් එකක් නම්, ඔයාගෙ විද්‍යුත් ලියුම නොහොත් ඊමේල් එක, ඔයා කියවන්න කලින් සෑහෙන දෙනෙක් කියවලා තියෙන්න පුළුවන්.

මම එහෙම කිව්වම ඔයා විශ්වාස කරන්නෙ නැහැ නේද? හොඳයි එහෙනම් මම ඔයාට මේ පෝස්ට් එකේ අන්තිමට දෙන YouTube චැනල් එක බලන්න. නැත්නම් පොඩි Research එකක් ඔයාම කරලා බලන්න. 

හොඳයි, මේකෙන් ඔයා තේරුම්ගත්තෙ මොකක්ද? අනිවාර්යයෙන්ම ඔයාගෙ ඉමේල් ගිණුම් තියෙන්නේ අනුන්ගේ පරීක්ෂාව යටතේ. අදාළ ඊමේල් සේවා සපයන ආයතන විසින්ම විවිධ වූ කාරණා මත ඔයාගෙ ඊමේල් කියවනවා. ඉන් ප්‍රධානම එකක් තමයි වෙළෙඳ දැන්වීම් පෙන්වීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම. ඔයා හිතන්නෙ නැති වුණත්, ඔයාගෙ ඊමේල් වල තියෙන දත්ත වලට ඉතා විශාල වටිනාකමක් තියෙනවා.

උදාහරණයක් හැටියට, ඔයා ඔයාගෙ යාළුවෙක් එක්ක අලුත් කැමරාවක් ගැන කතා බහ කරලා ඊමේල් සංවාදයක් කළා කියලා හිතමු, ඊළඟ දවසේ ඔයාට කැමරා ගැන වෙළෙඳ දැන්වීම් දකින්න ලැබේවි. ඒ තරමටම මේ ඔත්තු බැලීම කාර්යක්ෂමයි.

අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ගැන කියපු ගමන් කට්ටිය කතාව මඟහරිනවා. සමහර අය කියන කතාවක් තමයි

"මගේ අකවුන්ට් වල හංගන්න දෙයක් නෑ නෙ, ඔන්න ඔහෙ ඕන නම් කියවපුවාවෙ."

කියන දේ. එහෙම කියලා ඒක ගණන් නොගෙන ඉන්නවා. හරි, ඔයාට ඒක දැන් ගාණක් නැති වේවි. ඒත් ඉස්සරහට මොකක් වේවිද කියලා ඔයා දන්නවද?

මීට අවුරුදු ගාණකට කලින් මිනිස්සු බොරතෙල් හොයාගෙන, ඒවයින් ඩීසල්, පෙට්‍රල් පිරිපහදු කරගෙන වාහන වලට ගහලා වාහන ධාවනය කරවන්න ගත්තා. ගල් අඟුරු වලින් කෝච්චි ධාවනය කළා. ඒත් අද වෙනකොට මිනිස්සු තේරුම් අරන් තියෙනවා ඒ වාහන වලින් පිටවෙන දුම් නිසා කොච්චර විශාල පරිසර හානියක් වෙනවද කියන එක. ඒ කාලෙ ඒක කාටවත් ගාණක් වුණේ නෑ. ඒත් දැන්? දැන් මිනිස්සු උත්සාහ කරන්නේ පුළුවන් තරම් පරිසර හිතකාමී වාහන හදන්නයි.

මෙන්න මේ අන්තර්ජාල පෞද්ගලිකවයත් ඒ වගේ. ඔයාට තාමත් මේ ගැන ලොකු වැටහීමක් නෑ. අනාගතේ ඔයාගෙ සම්පූර්ණ මුදල් ගණුදෙනු වෙන්නේ අන්තර්ජාලය හරහා වෙද්දි, සෑම සියළු සන්නිවේදන කටයුතු අන්තර්ජාලය හරහා වෙද්දි, ඔයාට වැටහෙයි මේ අන්තර්ජාල පෞද්ගලිකවය කියන එකේ වටිනාකම. එතකොට ඔයා ගොඩක් ප්‍රමාද වෙලාත් ඉඳීවි.

අපි මේ කතා කළේ ඊමේල් ගැන. එතකොට අපිට නැතුවම බැරි ෆේස්බුක්? ඒක ගැන ඔයාලා මොනවද දන්නේ? ඔයාලා යන්තමින් හරි අහන්න ඇති, පහුගිය කාලයේදී ෆේස්බුක් ආයතනයේ හිමිකරු, මාක් සකර්බර්ග් ට චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වුණේ ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත අයුතු ලෙස පරිභෝජනය කිරීම සම්බන්ධවයි. ෆේස්බුක් කියන්නෙ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ ජාලය. ඔයාට හිතාගන්නවත් පුළුවන් ද, මේ බිලියන ගණනක සෙනඟක රුචි අරුචිකම් ගැන තියෙන දත්ත සමූහයක වටිනාකම කොච්චරද කියලා? ඔයා ලයික් කරන පෝස්ට්, පේජ්, වලින්ම ඔයා ගැන කොච්චර ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන් ද කියලා තේරෙනවද? ඔයා නොදැනම, ඔයා ගැන ප්‍රොෆයිල් එකක් ෆේස්බුක් එකේ තියෙනවා. ඒ ඔයාගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක නෙවෙයි, හැංගුණ එකක්. ෂැඩෝ ප්‍රොෆයිල් කියන්නෙ අන්න ඒවාටයි. ඒ ප්‍රොෆයිල් වල තියෙන දත්ත උපයෝගී කරගෙනයි ඔයාට ෆේස්බුක් එකේ පෙන්වන වෙළෙඳ දැන්වීම් පෙන්නන්නේ.

අනික, තනි පුද්ගලයන් වශයෙන් නෙවෙයි, රටවල් වශයෙන්, ප්‍රාන්ත හෝ පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් පවා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් ගැන අවබෝධයක් ලබාගන්න මේ ඔයාගෙන් ලබාගන්න දත්ත උපයෝගී කරගන්නවා.

එවැනි දත්ත වල වටිනාකම දන්නා විවිධ කූඨ වැඩපිළිවෙළවල් ඇති සංවිධාන විසින් මේ දත්ත මාක් සකර්බර්ග් ගෙන් අධික මුදල් වලට මිළදීගන්නවා කියලා ඔයාලා දන්නවද? මම මේ කරන්නෙ ඔයාලගෙ ඇස් ටිකක් පාදන එක විතරයි, මේ කතා අහලා,

"අනේ ඔව් ඉතින් නේද අපේ ඩේටා ටික තමයි ඒ විකුණන් කන්නේ, අපිට මොකෝ, කමක් නෑ නේ ඉතින්." 

කියලා හිතලා නිකන් ඉන්න නෙවෙයි, මේ ගැන හොයා බලන එක බුද්ධිමත් ජනතාව විදියට අපි හැමෝගෙම වගකීමක් සහ නොදන්නා අයට කියාදීම යුතුකමක්. ඔයා ගණන් නොගෙන ඉන්න අතරේ වෙන්නේ විශාල විනාශයක් බව හැමෝටම පසුකාලීනව තේරේවි.

අපි සාමාන්‍යයෙන් පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසුණාම කරන්නෙ මොකක්ද? මුලින්ම ෆේස්බුක් එක ඕපන් කරගෙන නොටිෆිකේෂන්ස් බලනවා. ඊට පස්සෙ ඒ ටැබ් එක ඕපන් එකේ තියාගෙන අලුත් ටැබ් අරන් වෙන වෙන අපිට අවශ්‍ය අඩවි වලට පිවිසෙනවා. ඔයා දන්නවද දන්නෑ, ෆේස්බුක් එකට ඔයා පිවිසෙන අඩවි ඔක්කොම පේනවා. ඔයා මුලින් විවෘත කරපු ටැබ් එකේ ඉන්න ෆේස්බුක් හොරා ඔයා පිවිසෙන අඩවි ගැන ලයිස්තුවක් පවා රැස් කරගන්නවා. ෆේස්බුක් කියන්නෙ අන්න ඒ වගේ ඔයා ගැන ඔත්තු බලන කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි, ඔයා ෆෝන් එකට දාගෙන ඉන්න ෆේස්බුක් ඇප් එකෙන් ඔයා ඔයාගෙ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන් ඉන්න ඇප්ස් වල ලයිස්තුවක් පවා අරගන්නවා. ඔයාට හොරෙන් ඔයාගෙ ඡායාරූප, ඔයා කතා කරන දේවල් පවා ලබාගැනීමේ හැකියාව මේ ෆේස්බුක් ඇප් එකට තියෙනවා. ඒ විතරක්ද? නැහැ. ඔයා යන එන තැන්, ඔයාගෙ ෆෝන් එකේ සේව් කරන් ඉන්න දුරකථන අංක, කැලෙන්ඩර් එකේ ඔයා දාන් ඉන්න ඉවෙන්ට්ස්, රිමයින්ඩර්ස් පවා ඔයාටත් හොරෙන් කියවීමේ හැකියාව ෆේස්බුක් ඇප් එකට තියෙනවා.

මේ කිව්වේ ෆේස්බුක් ගැන. එතකොට ඉන්ස්ටග්‍රෑම් එකත් අයිති ෆේස්බුක් සමාඟමට බව ඔයා දන්නවද? ඒකෙනුත් ඔය ෆේස්බුක් එකෙන්ම කරන ඔත්තු බැලීම් ටික කරනවා. එතකොට ඔයාලට නැතුවම බැරි WhatsApp අයිති කාටද? මාක් සකර්බර්ග් ට! ෆේස්බුක් එකේ අයිතිකාරයා වුණ මාක් සකර්බර්ග් ට. ලෝකේ ලොකුම දුරකථන නාමාවලිය මාක් ගෙ අතට ගත්තේ ආසාවට කියලද ඔයා හිතන්නේ? වට්ස්ඇප් කියන්නෙ විශාල දුරකථන නාමාවලියක්. ඔයා කියයි, වට්ස්ඇප් අවුලක් නෑ ඒකෙ End to End encryption තියෙනවා අපි බය නෑ, අපේ මැසේජ් කන්ටෙන්ට් කියවන්න කාටවත් බෑ කියලා. ඒත් ඒක ඇත්තද?

අපි හිතමු, හරි. වට්ස්ඇප් වල End to End encryption තියෙන නිසා අපේ මැසේජ් වල කන්ටෙන්ට් එක කාටවත් බලන්න බැහැ. ඒත් අහවල් වෙලාවෙ අහවල් කෙනා එක්ක මැසේජ් කළ බව වට්ස්ඇප් එකෙන් දැනගන්න එක වළක්වන්න ඔයාට පුළුවන් ද?

ඒ විතරක්ද? අහවල් කෙනා එක්ක මෙච්චර වෙලාවක් මැසේජ් කළ බව, මෙච්චර ප්‍රමාණයක් පණිවිඩ යැවූ බව, එතනින් ටෙක්ස් මැසේජ් කොච්චරක් යැව්වද, මීඩියා අඩංගු මැසේජ් කොච්චර යැව්වද? කොච්චර වෙලාවක් ඔයා ඔන්ලයින් හිටියද? කියන දත්ත ඔක්කොම වට්ස්ඇප් සමාඟම සතුයි. මේ ටිකක් විතරයි.

මේ දත්ත වලට අපි කියනවා මෙටා ඩේටා (Meta Data) කියලා. මේ මෙටා ඩේටා වල වටිනාකමත් සෑහෙන්න වැඩියි. මේ දත්ත යොදාගෙනත් ඔයා කරන කියන දේවල්, ඔයාගෙ දින චර්යාව ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් බව අමතක කරන්න එපා. උදාහරණයක් විදියට ඔයා වැඩි වශයෙන් ඔන්ලයින් ඉන්නේ රාත්‍රි කාලයට සහ සති අන්තයේ වීම නිසා කාටහරි පහසුවෙන් නිගමනය කරන්න පුළුවන් ඔයා යම් ආයතනයක සේවය කරන හෝ අධ්‍යාපනය ලබන කෙනෙක් කියලා. මේ බොහොම සරල උදාහරණයක්, මෙහෙම නෙවෙයි, ඔයා ඔන්ලයින් ඉඳීමේ කාල ප්‍රාන්තර, මැසේජ් කරන ප්‍රමාණ, මැසේජ් කරන පිරිස වගේ කරුණු යොදාගෙන බොහොම සංකීර්ණ විදියේ තොරතුරු ගොඩක් ඔයා ගැන රැස් කරන්න පුළුවන්. ඒ ගැන ඔයා මීට කලින් හිතුවද?

තවත් අපි කතා කරමු, ඔයා දැන් භාවිතා කරන මේ දුරකථනය ගැන. ඔයා ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් එකක් භාවිතා කරන කෙනෙක් නම්, ඔයා ඕක කඩෙන් මිළදීගන්නකොටම ඕකෙ තිබුණ ඇප්ස් මතකද? ප්ලේ ස්ටෝ එක, Chrome බ්‍රවුසර් එක ආදී ඇප්ස් රොත්තක් ගැන මතකද? ඒ ඇප්ස් අයින් කරන්නත් බැරි බව ඔයා දැක්කද? ඩිසේබල් කියලා ඔප්ෂන් එකක් තිබුණත් අපි කීයෙන් කී දෙනාද ඕවා ඩිසේබල් කරන්නෙ? සමහර ඇප්ස් ඩිසේබල් කරන්න වත් බැරි බව ඔයා පරීක්ෂාවෙන් බැලුවා නම් දකින්න ඇති. මේවායින් සමහරක් දුරකථනයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සිස්ටම් ඇප්ස්. ඒත් සමහර ඒවා ගූගල් සමාඟම විසින් ඔයාට බලෙන් පටවලා එවපු ඒවා. ඒ ඇයි? ලාභ උපයන්නයි.

ඔයා, පහුගිය කාලේ තාක්ෂණික පුවත් ගැන විමසිල්ලෙන් හිටිය කෙනෙක්නම් දකින්න ඇති, ගූගල් සමාඟමට විරුද්ධව කේස් ගොඩක් ඇදුණා. ගූගල් සමාඟම විසින් විශාල දඩ මුදලක් ගෙව්වා. ඒ ඇයි? ඔයාලා හොයා බැලුවද?

ගූගල් සමාඟම තමයි Android මෙහෙයුම් පද්ධතිය දියුණු කරන්නේ. Android මෙහෙයුම් පද්ධතිය කාටත් නොමිලේ ලබාගන්න පුළුවන්. එහෙම කාටත් නොමිලේ දෙන්නේ Google සමාඟම අපිට හරි ආදරේ නිසා නම් නෙවෙයි Android කියන්නෙ සල්ලි උල්පතක් නිසා.

ලෝකේ තියෙන Android දුරකථන වලින් ඉතාම ස්වල්පයක් ඇරෙන්න හැම එකේම Google Play Store එක අන්තර්ගතයි. ඒ කියන්නෙ අපිට නොපෙනෙන හොර ඇප් එක වෙන Google Play Services කියන ඇප් එකත් අන්තර්ගතයි. මේ දෙකම System ඇප්ස්. අයින් කරන්න බැහැ. අයින් කරන්නෙත් නෑ අපි. මොකද අයින් කළොත්...! ෆෝන් එකට ඇප්ස් ගන්න බෑ. ගොඩක් ඇප්ස් වැඩ නෑ. හෙන ජල්බරි ගොඩයි. ඉතින් අපි ඔය ඇප්ස් තියෙන්න හරිනවා. Google Play Services කියන්නෙ ඔයා සරම අස්සෙ දාන් ඉන්න නයි පැටියෙක් වගේ එකෙක්. මේකා පේන්නෙත් නෑ පිටට. ෆෝන් එකේ ඇප්ස් ලයිස්තුව බලද්දි නම් පේන්න තියෙනවා Google Play Services කියලා එකක්, හැබැයි මෙනු එකේ එහෙම එකක් නෑ. Play Store විතරයි පේන්න තියෙන්නෙ.

මෙන්න මේ Play Services ඇප් එකෙන් ඔයාගෙ ෆෝන් එකේ ඕනම රහසිගත දෙයක් පන්නගන්න පුළුවන්. මේ හොරාට යන්න බැරි තැනක් නෑ. කරන්න බැරි වැඩක් නෑ.

ඔයාගෙ ෆෝන් එකේ අයිතිකාරයා ඔයා කියලා මහා ලොකුවට හිතන් හිටියට, ඔයාගෙ ෆෝන් එකේ අයිතිකාරයා ඔයා නෙවෙයි. මොකද ඔයාගෙ ෆෝන් එක තියෙන්නෙ ඔයාට ඕන හැටියට නෙවෙයි, කොහෙවත් ඉන්න සමාඟමකට ඕන හැටියටයි.

දැන් Apple පාරිභෝගිකයෝ සතුටු වෙනවා ඇති, Android වල තමයි ඔය අවුල්, අපිට ඔව්වා අවුල් නෑ කියලා. ඒක බොහොම වැරදි නිගමනයක්. Apple දුරකථන වල තියෙන්නේ ඒ උපාංග වෙනුවෙන්ම හැදුව Closed Code OS එකක්. අඩුමගානෙ Android කියන්නෙ Open Source එකක්. අපිට ඕන්නම් Android OS එක අරගෙන අපිට ඕන විදියට හදාගන්න හරි පුළුවන්. ඒත් Apple iOS? ඒක අස්සෙ හැංගුණ මකරු කොච්චර ඉන්නවද වත් කියලා අපි දන්නෙත් නෑ. දැනගන්න වෙන්නෙත් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස උඩ යාමෙන් වළකින්න.

හිතලා බලලා කටයුතු කරන, යමක් කමක් තේරුම්ගන්න බුද්ධියක් ඇති කෙනෙක්ට දැන් ඔයාට මේ එල්ල වෙලා තියෙන තර්ජනයේ ස්වරූපය ටිකක් හරි පැහැදිලි ඇති.

ඔයා ගැන හැම දේම ඔයාටත් වඩා හොඳට දන්නෙ, ඔයාගෙ පෙම්වතී/පෙම්වතා නෙවෙයි! හදා වඩා ගත්ත දෙමාපියොත් නෙවෙයි!! කොහෙවත් ඉන්න අන්තර්ජාල සේවා සපයන සමාගම් ටිකක්. ඔයා ඒකට කැමතිද? ආසද? මං දන්නෑ ඔයාගෙ මතය ගැන නම්. හැබැයි මට නම් ඕන නෑ මගේ ගැන කිසි දෙයක් මේ මොකාවත් දැනගන්නවට. ඒ මම හොරෙක් නිසා නෙවෙයි, මං ගැන ඔත්තු බල බල මගේ පස්සෙන් එන එකෙක් ඉන්නවා කියලා හිතෙනකොටත් මට කේන්තියක් එන නිසා.

තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න මේ ලෝකේ සෑම පුද්ගලයක්ටම අයිතිවාසිකමක් තියෙනවා. ඇත්තටම මෙතන වෙන්නේ ඒ අයිතිය උල්ලංඝනය වීමක් නෙවෙයි ද? කල්පනා කරලා බලන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙන ලෝකයකයි ඔයා ජීවත් වෙන්නේ. සැඟවුණු අනතුර ගැන අවබෝධයෙන් ඉන්න. කාටහරි ඕන වුණොත් ඔයාගෙ සම්පූර්ණ පෞද්ගලික විස්තර ලයිස්තුවක්, ඒක ගන්න ඔයා ඕන නැහැ. ඔයා ගැන හැමදේම දන්න සමාඟම් මේ ලෝකේ තියෙනවා.

මෙන්න මේකයි කතාව. මට ඕන වුණේ අන්තර්ජාල භාවිතාවේ සැඟවුණු අනතුර ගැන පොඩිම පොඩි ඡායාවක් ඔයාලට පෙන්නන්න. තත්වය මීට වඩා බොහෝ දරුණු බව IT ක්ෂේත්‍රයේ ඉහළට ගිය, අන්තර්ජාලය ගැන ඇති සැටියෙන් අවබෝධයක් ඇති අය දන්නවා ඇති. අන්තර්ජාලයේ වෙන Privacy violations එහෙමත් නැත්නම් පෞද්ගලිකත්වය හානි වීම් ගැන කියන්න නම් පොත් පහ හයක් ලියන්න වෙයි. ඒ තරම් තොරතුරු, දත්ත ඔයාලට දෙන්න පුළුවන්. මම මේ කියපු දේ කියවලා ඇස් ඇරුණු කෙනෙක් ඉන්නවා නම්, එයාගෙ ඉංග්‍රීසි දැණුමත් හොඳයි නම්, මම එයාට ආරාධනා කරනවා මෙන්න මේ Youtube චැනල් එක බලන්න කියලා. ඒ චැනල් එකේ තියෙන පරණම වීඩියෝ එකේ ඉඳන් අලුත්ම එක දක්වා බලාගෙන එන්න. මම අද මේ කියවපු දේවල ඇත්ත නැත්ත සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන හැටි බලාගන්න.

The Hated One - YouTube Channel

ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මම මේ කියන ඒවා විශ්වාස නොකරන,

"අනේ මගේ මාක් සකර්බර්ග් අයියා කවදාවත් මගේ දත්ත කාටවත් විකුණලා සල්ලි හොයන්නෑ, මගේ ආදරණීය ෆේස්බුකිය මං ගැන ඔත්තු බලන්නෑ අනේ එයාලා ෂෝයි අහිංසකයි."

කියලා හිතෙනවා නම් අන්න එයාටත් මම කියනවා අර මම දුන්න Youtube චැනල් එක අමාරුවෙන් හරි බලන්න කියලා.

නිදහස් ලෝකයක ජීවත් වෙන අපි, නිදහස් මිනිස්සු විදියට ජීවත් වෙන්න උත්සාහ දරමු. භෞතික ලෝකයේ විතරක් නෙවෙයි, ඩිජිටල් ලෝකයේත් ඒ පුරුදු රැකගමු. තමන්ගේ පෞද්ගලිකත්වය, තමන්ගේ ගෞරවය රැකගෙන ජීවත්වීම අපි හැමෝගෙම අයිතියක්. ඒ අයිතිය කාටවත් පාවා දෙන්න එපා.
***
අදට බ්ලොග් පෝස්ට් එක මෙතනින් නවත්තන්නම්. මේක කියවලා එකම එක්කෙනෙක් ගේ හරි ඇහැක් ඇරවන්න පුළුවන් වුණා නම් ඒකයි මම ලබාගන්න ඉහළම ජයග්‍රහණය. මම වේලාව තියෙන විදියට, තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන අන්තර්ජාලයේ සැරිසරන ආකාරය ගැන ලිපි කීපයක් ලියන්නම්.

මේ ලිපි ලිව්වා කියලා සත පහක ආදායමක් මට නැහැ. මේ බ්ලොග් එක තියෙන්නෙත් Google Blogger එකේ. එහෙමයි කියලා මේකෙ වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක කරලා නෑ. ඩොමේන් එකට වියදම් කරලා තියෙන්නෙත් මගේ පෞද්ගලික මුදල්. ඒවත් කිසිම Online activity එකකින් හොයාගත්ත මුදල් නෙවෙයි.

මගේ එකම අරමුණ තවත් කෙනෙක් ගේ දැණුම වැඩි කිරීමයි. ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම වැඩි කිරීමයි. කෙනෙක් ගේ ඇස් දෙක පාදන්න මට පුළුවන් වුණොත් ඒකයි මම ලබන සතුට, වත්කම.

හැමදාම කියනවා වගේ, ඔන්න අදත් කියනවා ඔයා දන්න දේවල් මේකට එකතු කරන්න පුළුවන් පහළින් කමෙන්ට් එකක් දාලා, පක්ෂ විපක්ෂ අදහස් ඵල කරන්න පුළුවන් කිසි බාධාවක් නැතුව. පොයින්ට් එකක් තියෙන විපක්ෂ අදහස් ගැන මම සලකා නොබලා ඉන්නෑ. Pointless වාද ගැන නම් මම තකන්නෙ නැහැ. මං අතින් වැරදි යමක් ලියවෙලා නම් කියන්න මම නිවැරදි කරන්නම්, ලොකු ල‍යින් අපේ නැහැ.

නැවත හමුවෙමු. ඔබට ජය!

Share:

Search This Blog

Follow by Email