Saturday, November 24, 2018

MBps සහ Mbps අතර වෙනස.


මේකත් ඔන්න අහඹු පෝස්ට් එකක්. මේක ලියන්න හේතු වුණ කාරණාව තමයි ගොඩක් දෙනෙක් ගේ නොදැනුවත්කම. ඒ නොදැනුවත්කම නිසාම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් නිකරුණේ බැනුම් අහනවා. මම කියන්නෙ නෑ එයාලගෙ වැරදි නෑ කියලා, වැරදි ගොඩයි. ඒත් සමහරවිට එයාලා වරදක් නොකරත් බැණුම් අහනවා.

ඩයලොග් සමාඟම රට පුරා කටවුට්, බැනර් ගහලා කිව්වෙ 40Mbps වේගයක් සහිත 4G දෙනවා කියලා. ඒත් එච්චර වේගයක් අපේ නැත්තෙ ඇයි කියලා ගොඩක් අය ඩයලොග් එක මරන් කන්න ගත්තා. මෙහෙමයි, ස්පීඩ් එක අඩු වෙන්න තාක්ෂණික හේතු තියෙනවා, අනික එයාලා කිව්වේ 40Mbps මිසක් 40MBps නෙවෙයි නෙ. එතකොට මේ සිම්පල් b සහ කැපිටල් B අතර පැටළුණ වින්නැහිය මොකක්ද? හොඳයි අපි ඒක දැන් බලමු.

අපි මුලින් බලමු මේ කැපිටල් B, MBps කතාව.

MBps. (Mega Bytes per second) මෙතන MB කියන්නෙ MegaBytes කියන එක. අපි ගොඩක් අය දන්න හැටියට, මෙගාබයිට් වලින් මනින්නේ කිසියම් දත්ත ප්‍රමාණයක්. කිසියම් ගොණුවක සයිස් එකක්, කිසියම් ආචයන උපාංගයක නොහොත් Storage device එකක හිස් ඉඩ ප්‍රමාණයක් වගේ දේවල්.

උදාහරණයක් විදියට CD එකක 700MB පමණ දත්ත ගබඩා කරන්න පුළුවන්. මේ ඒකකය කුඩා නිසා, වඩා විශාල ගොණු වල හෝ උපාංග වල ප්‍රමාණය මනින්න GB නොහොත් GigaBytes කියන ඒකකයත් අපි ගන්නවා. මං ගාව 16GB පෙන් එකක් තියෙනවා කිව්වොත් ඒ කියන්නෙ මගේ ළඟ Gigabytes 16ක පමණ දත්ත තැන්පත් කරන්න පුළුවන් තරමේ USB පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා කියන එක. මං හිතන්නෙ ඒක දැන් පැහැදිලියි.

ඔයා යනවා 100MB තරමේ යම් ගොණුවක් අන්තර්ජාලයෙන් බාගන්න. ඔයාගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ වේගය 1MBps නම්, තත්පර සීයක් ඇතුළත ඔයාට මේ ගොණුව බාගන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් 1MBps කියන්නෙ තත්පරයකට මෙගාබයිට් එකයි කියන එක. එතකොට අවුලක් වෙන්නෑනෙ. ඔතනින් ඔය MBps කතාව ඉවරයි.

එතකොට මොකක්ද මේ සිම්පල් b? Mbps?? 

Mbps (Mega bits per second). ඒක මෙහෙමයි. Computer Networking වල සම්මතයක් හැටියට එක් උපාංගයකින් තවත් උපාංගයකට වෙන දත්ත හුවමාරුවේ වේගය මනින්නේ MBps වලින් නෙවෙයි. Mbps වලින්. ඒ කියන්නේ තත්පරයට මෙගාබිට්. (බයිට් නෙවෙයි!) මේ දෙකේ සෑහෙන වෙනසක් තියෙනවා. බිට් සහ බයිට් වෙනස ගැන ඔයාලා දන්නවා. බිට් 8ක් බයිට් එකයි. චූටි කාලෙ IT කරනකොට අපිට මේක කියලා දුන්නා.

ඒ වගේම දරුවනේ,

8Mbps = 1MBps

ඒක සිංහලෙන් කිව්වොත්, තත්පරයට මෙගාබිට් 8ක්, තත්පරයට මෙගාබයිට් එකයි.

එතකොට දැන් තේරෙනවා ඇතිනෙ. මම ඇහුවොත් එතකොට 24Mbps කියන එක MBps වලින් කියන්න කියලා, ඔයාට තියෙන්නෙ 24 ÷ 8 කියලා බෙදාගන්න එක. 24 ÷ 8 = 3 යි. ඒ කියන්නෙ,

24Mbps = 3MBps

ඒ වගේම මම කිව්වොත් 2MBps කියන වේගය Mbps වලින් කියන්න කියලා, බොහොම සරලයි ඔයාට පුළුවන් ඒක 8 න් ගුණ කරන්න. 2 × 8 = 16 එතකොට,

2MBps = 16Mbps

විදියට අපිට ලැබෙනවා. ඔන්න එතකොට අපේ තියරි කොටස ඉවරයි. අපි දැන් යන්න හදන්නෙ ප්‍රැක්ටිකල් පැත්තට.

Dialog සමාඟම මේ කියන්නෙ මොකක්ද?

අපේ රටේ ප්‍රධානතම අන්තර්ජාල සේවා සපයන්නෙක් නොහොත් ISP කෙනෙක් වෙන ඩයලොග් සමාඟම කිව්වේ එයාලගෙ 4G වේගය 40Mbps කියලා නේ. අපි මේක දැන් අපේ දැණුම භාවිතා කරලා MBps වලට පරිවර්තනය කරමු.

40 ÷ 8 = 5

ඒ කියන්නෙ, 40Mbps = 5MBps කියන එක. අන්න එතකොට අපිට මේ ගැන පැහැදිලි අවබෝධයකට එන්න පුළුවන්.

මේ වේගයෙන් ඔයාලට පුළුවන් 200MB තරමේ ගොණුවක් තත්පර 40ක් ඇතුළත බාගත කරගන්න. ඒ කිව්වේ තත්පරයකට මෙගාබයිට් (MB) 5 බැගින් තත්පර 40ක් තිස්සේ බාගත වුණාම 5 × 40 = 200 නිසා.

ඒත් අපි හිතුවොත්, මගේ දත්ත වේගය 40Mbps නිසා මට මේ 200MB ගොණුව තත්පර 5න් බාගන්න පුළුවන් කියලා ඒක බොහොම වැරදි අදහසක් කියලා දැන් ඔයාලට තේරෙන්න ඕන. මොකද ගොණුවක දත්ත ප්‍රමාණය මනින්නේ මෙගාබයිට් වලින් නිසාත් මෙතනදි දත්ත වේගය මනින්නේ මෙගාබිට් වලින් නිසාත්. නොගැලපෙන ඒකක නිසා අපිට එන්නේ වැරදි අදහසක්.

හොඳයි මම මේ ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කළා කියලා මම හිතනවා. දැන් මං හිතන්නෙ ඔයාලට හොඳ අවබෝධයක් ඇති මේ MBps සහ Mbps අතර හුටපටය ගැන.

කියන්න ඕන අනික් වැදගත්ම කාරණාවක් තමයි ප්‍රායෝගිකව බොහෝවිට අපිට ISP කියන වේගයටම යන්න බැහැ. 40Mbps කියලා කිව්වට, ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නේ තනියෙන් නෙවෙයි නෙ. ඔයාට සේවා සපයන කුළුණට තව ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. එතනදි Network traffic එකක් හැදෙනවා. පාරෙ ට්‍රැෆික් වගේම තමයි මේකෙදිත් වේගෙන් යන්න බෑ. ඉතින් මේක වෙනම මාතෘකාවක් නෙ. ඒ ගැන මට හැකි වුණොත් පසුවට ලියන්නම්. දැනට අපි කතාව නවතමු.

මොකක් හරි ගැටළුවක් ඇත්නම් පහළින් කමෙන්ට් එකක් දාන්න, ඔයා දන්න දේවලුත් අපිට කියන්න, ඒ වගේම මගේ යම් තැනක වැරැද්දක් ඇත්නම් පෙන්නලා දෙන්න. බොහොම අගය කරනවා එහෙම දෙයක් කරන්න හැකිනම්, ඒක මට ගොඩක් වටිනවා. එහෙනම් නැවත හමු වෙමු. ඔබට ජය!

***
Share:

Thursday, November 15, 2018

ෂර්ලොක් හෝම්ස්‍ රහස් පරීක්ෂක කථා පිළිවෙලට.



ෂර්ලොක් හෝම්ස්‍ කියන නම අහලා නැති කෙනෙක් නැතිම තරම්. අද මේ සූදානම් වෙන්නේ ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස්‍ රහස් පරීක්ෂණ කථා වල පිළිවෙල ගැන විමසා බලන්නයි.

ලොව පුරා ජනප්‍රිය වුණු මේ ෂර්ලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය කරන්නේ Sir Arthur Ignatius Conan Doyle නැත්නම් අපි හැමෝම දන්න ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්, බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයා විසින්.

1887 දී සිට 1927 වසර දක්වා අවුරුදු 40ක කාලය ඇතුළත Sherlock Holmes රහස් පරීක්ෂණ අඩංගු නව කථා (Novels) 4 ක් සහ කෙටි කථා (Short Stories) 56 ක් පමණ රචනා වී ඇත. මෙම කථා සම්පූර්ණ ගණන එවිට 60 කි.

මගේ මේ උත්සාහය, මෙම කථාන්තර 60 ලියූ පිළිවෙල ගැන විමසා බැලීමයි. ඊට හේතුව වෙන්නේ ලංකාවේ සිංහල ග්‍රන්ථ කියවන පාඨකයන් අතරට මෙම කථා රැගෙන ආ චන්දන මෙන්ඩිස් මහතා විසින් මෙම කථා 60, කොනන් ඩොයිල් විසින් රචිත පිළිවෙල නොමැතිව වෙනම පිළිවෙලකට පරිවර්තනය කිරීමයි.

එමෙන්ම, කොනන් ඩොයිල් විසින් රචිත කථා 60 ට අමතරව ඔහු විසින් රචිත කථා ද ඔහුගේ ග්‍රන්ථ අතරට එක් කිරීමයි.

කොනන් ඩොයිල් විසින් රචිත මෙම කතා 60 ඇතුළත් වෙන්නේ සම්පූර්ණ ග්‍රන්ථ නවයක් ඇතුළත ය. ඒ, දීර්ඝ කතා, නැත්නම් නවකතා ලෙස රචනා වූ කතා 4 වෙනම ග්‍රන්ථ 4ක් ලෙස හා කෙටි කතා 56 ඇතුළත් වූ ග්‍රන්ථ 5ක් ලෙසය.

කෙසේ වෙතත්, මෙම ප්‍රධාන කතා 60 ඇතුළත් වන්නේ චන්දන මෙන්ඩිස් මහතා විසින් රචිත ග්‍රන්ථ 12ක් පුරාවට ය. එමෙන්ම ඒවා පරිවර්තනය වූ පිළිවෙල, කොනන් ඩොයිල් විසින් රචිත පිළිවෙල නොවේ.

මාගේ මිතුරෙක් විසින් කළ ඇරයුමත්, ෂර්ලොක් හෝම්ස් චරිතයට මාගේ ඇති ආශාවත් නිසා, මෙම සිංහලයට පරිවර්තිත කථා 60 ක ප්‍රමාණය කොනන් ඩොයිල් විසින් රචිත පිළිවෙලට සැකසීමට මම වෙහෙසුණෙමි. 

යම්කිසි අයෙක්ට ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂණ කතා, ඒවා ලියූ පිළිවෙලටම, සිංහලෙන් කියවීමට අශාවක් ඇත්නම්, එවැනි අයෙක්ට මෙම මාර්ගෝපදේශය බොහෝ උපකාරී වනු ඇත. 

එමෙන්ම, තම තමන් විසින් කියවා නොමැති ෂර්ලොක් හෝම්ස් කථා මොනවාදැයි සහ ඒවා අයත් සිංහලයට පරිවර්තිත ග්‍රන්ථය කුමක්දැයි පහසුවෙන් සොයා ගැනීමට මෙම වාර්තාව උපකාරී වනු ඇති.

මෙම වාර්තාවේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් මාව දැණුවත් කරන ලෙසත්, මෙහි කිසියම් ආකාරයක අඩුපාඩුවක් ඇතොත් එය නිවැරැදි කර ගැනීමට උපකාර කරන ලෙසත් අවසන් වශයෙන් ඉල්ලා සිටිමි. 

(PDF ගොණුවක් ලෙස බාගත කරගැනීම සඳහා පිටුවේ පහළට යන්න.)

ඔබට ජය!





***
Share:

Wednesday, November 7, 2018

WhatsApp ගිණුමක් අවලංගු වීමට හේතු.

අපි හීනෙන් වත් දකින්න අකමැති භයානක දේවල් තියෙනවනෙ. අන්න එහෙම භයානක හීනයක් ගැන තමයි මේ. උදේම ෆෝන් එක අතට අරන් WhatsApp ඕපන් කරනකොට මෙන්න මෙහෙම වැටුණොත් මොකක්ද කරන්න ඕන?
Your phone number is banned from using WhatsApp. Contact support for help.
ඔළුව හැරුණ අතේ දුවන්න හිතෙයි, ඉන්ටනෙට් එකේ අතර අතේ search කරයි. ඒත් මේක හදාගන්න ක්‍රමයක් නම් ලැබෙන එකක් නෑ. එකම විසඳුම WhatsApp සමාඟම සම්බන්ධ කරගන්න එක. ඒත් එහෙම කළත් ගිණුම ආපහු සක්‍රීය වීම ගැන බලාපොරොත්තු තියාගන්න බෑ.

එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? මාරාන්තික වෛරසයකින් (HIV වගේ එකකින්) බේරෙන්න නම් මොකක්ද කරන්න ඕන? ඒක හැදෙන එක වළක්වාගන්න ඕන. අන්න ඒ වගේ, මේ භයානක සිද්දියෙන් ගැලවෙන්න නම් වැඩේ වෙන්න කලින් දැනුවත් වෙන්න ඕන. වුණාට පස්සෙ ඉතින් සොරි තමයි.

දැන් අපි බලමු ඇයි WhatsApp අකවුන්ට් එකක් මෙහෙම Ban වෙන්නේ, එහෙමත් නැත්නම් අවලංගු වෙන්නේ කියලා.

මේකට බලපාන හේතු ගොඩක් තියෙනවා. මෙයින් එකක් හෝ කිහිපයක් වීම නිසා ඔබේ WhatsApp ගිණුම පූර්ව දැනුම්දීමකින් තොරවම සදාකාලිකව අවලංගු කරලා දාන්න පුළුවන්.

1) තෙවන පාර්ශවීය ඇප්ස් භාවිතා කිරීම.

මේ කියන්නෙ මොකක්ද? අපි මේක සරල කරගමු. තෙවන පාර්ශවීය ඇප්ස් කියන්නෙ මොනාද කියලා මම කියන්නම්. මේ අවුල එන්නේ Android පාවිච්චි කරන අයට. මොකද iOS (Apple iPhone) භාවිතා කරන අයට කොහොමත් Apple Store එකෙන් විතරයි ඇප්ස් ගන්න පුළුවන්.

සමහරු දන්නවා ඇති නේ WhatsApp Plus කියලා Android ඇප් එකක් ගැන. මේක හදලා තියෙන්නේ Original WhatsApp apk එක එහෙමත් නැත්නම් Android පැකේජ් එක අරගෙන එඩිට් කිරීමෙන්. මේවා Play Store එකට දාන්න තහනම්. ඒ නිසා apk ගොණුවක් විදියට බාගත කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය WhatsApp ඇප් එකට වඩා ගොඩක් වැඩියෙන් features එකතු කරලා තිබීම. ඒවට උදාහරණ නම්

  1. Themes භාවිතා කිරීමේ හැකියාව.
  2. තමන් කැමති අකුරු මෝස්තරයක් දමා ගැනීමේ හැකියාව.
  3. Online සිටින බව සැඟවීමේ හැකියාව.
  4. නිතරම Online සිටින බව අනික් අයට පෙන්වීමේ හැකියාව.
ආදී නානාප්‍රකාර එකතු කිරීම් ගොඩක් තියෙනවා. මෙන්න මේ features නිසා සමහරු Whatsapp Plus වගේ තෙවන පාර්ශවීය Apps භාවිතා කරනවා. නමුත් පසුව වැඩ වරද්දා ගන්නවා. මෙහෙම ඇප් එකක් භාවිතා කිරීම ඔබේ අංකය WhatsApp සේවාවෙන් සදාකල් අවලංගු වී යාමට හේතුවක්.

2) ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැති කෙනෙක්ට හෝ පිරිසකට මැසේජ් විශාල ප්‍රමාණයක් යැවීම.

මේ කියන දේ සරල කරොත්, මෙහෙම හිතන්න.
ඔයාගෙ යාළුවෙක් ඉන්නවා එයා ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැහැ. ඔයා ඒ බව නොදැන එයාට දිගටම මැසේජ් කරනවා. යාළුවට රිප්ලයි කරන්නත් අමතක වෙලා හෝ හිතලම රිප්ලයි නොකරම ඉන්නවා. එතකොට WhatsApp සිස්ටම් එකෙන් ඔයාව Spammer කෙනෙක් විදියට අල්ලගන්නවා. Spammer කෙනෙක් කියන්නෙ කරදරකාරි විදියට අනික් අයට පණිවුඩ යවමින් කුමක් හෝ යටි අරමුණක් සහිතව වැඩ කරන කෙනෙක්ට. මේ යටි අරමුණ එක්කෝ වෛරස් එකක් පැතිරවීම වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි පිරමීඩ ආකෘතියක ව්‍යාපාරයකට කට්ටිය එකතු කිරීම වෙන්න පුළුවන්. ඒ මුකුත්ම නැතුව නොදැනුවත්ව කරන දේකින් ඔයාටත් Spammer කියන ලේබලය වදින්න පුළුවන්.

මේ විදියට ලේබල් වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි මොකක් හරි නොමඟ යවන සුළු ලිංක් එකක් ක්ලික් කිරීම. මම ඊයේ දැක්කා වට්සැප් වලට ස්ටිකර්ස් ඕන නම් ක්ලික් කරන්න කියලා තියෙන ලිංක් එකක්. ඒක ක්ලික් කරාම ඉබේම ඒ ලිංක් එක, තමන් ඉන්න ගෲප් වලටයි, කලින් චැට් කරපු අයටයි යනවා. අන්න එහෙම සිද්දියකදීත් ඔයාව Spammer කෙනෙක් විදියට ඔයා නොදැනුවත්ව අහු වෙන්න පුළුවන්.

Spamming කියන්නෙ පණිවුඩ හුවමාරු සේවාවන් වල අනිවාර්යයෙන්ම එළවා දැමීමේ හේතුවක්. ඒක WhatsApp වලටත් පොදුයි. ඉතින්, පයින් ගහලා එළවනවා.

3) කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනෙක් විසින් ඔයාව බ්ලොක් කිරීම.

මේක මෙහෙම වෙන්න පුළුවන්. ඔයා ඉන්න ගෲප් එකක ඔයා වලියක් දාගෙන ඒකෙ පිරිසක් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. එතකොට ඒ ගෲප් එකේ පණහක් විතර එකපාරට ඔයාව බ්ලොක් කරනවා කියමුකො.

අන්න ඒකත් WhatsApp system එකෙන් සැක කටයුතු දෙයක් විදියට දකිනවා. මෙච්චර පිරිසක් එකවට මේ මනුස්සයව බ්ලොක් කරන්නේ, මේකාගෙ මොකක් හරි අවුලක් ඇති කියලා detect වෙනවා. අන්න එතකොටත් ඔයාගෙ ගිණුම සදහටම අක්‍රිය වෙන්න පුළුවන්.

4) ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැති විශාල පිරිසක් එකතු කරගෙන Group chat එකක් සෑදීම.

මේක පැහැදිලි කරන්නත් මම උදාහරණයක් දෙන්නම්. හිතන්නකො ඔයා ටියුෂන් ගුරුවරයෙක් කියලා. ඔයාට ඕන වෙනවා ඔයාගෙ පංති තියෙන දවස් ගැන ළමයි 1000කට විතර දැනුම් දෙන්න. ඔයා මොකක්ද කරන්නෙ, මොකක් හරි ක්‍රමවේදයකින් මේ ළමයින්ගෙ නම්බර් ටික අරගෙන ඒවා දුරකථනයේ සේව් කරගන්නවා. ඊට පස්සේ ඒ නම්බර් සේරම Group එකකට ඇඩ් කරලා මැසේජ් එක දානවා "මගේ පංති තියෙන්නේ අහවල් වෙලාවටයි, ළමයි එදාට එන්න" කියලා. අර ළමයි ඔක්කොම ඔයාගෙ නම්බර් එක එයාලගෙ ෆෝන් වල සේව් කරගෙන නැහැනෙ. අන්න එතකොට මේක Spamming group එකක් යටතට වැටෙනවා.

මේ විදියට විශාල පිරිසකට WhatsApp පණිවුඩ යවන්න ඕන නම්, WhatsApp business tools භාවිතා කරන්න ඕන. ඒකට සෑහෙන ලොකු වියදමක් දරන්න වෙනවා. අර කිව්ව විදියට ගෲප් හදාගෙන කරන්න ගියොත් නම්බරේ ban කරන් ඉන්න පුළුවන්.

5) කරුමේ

මේක ඉතින් නොදාම බෑ. මොකද ඔය මුකුත් නොකර Ban වෙන නම්බර්ස් තියෙනවා. සමහරවිට WhatsApp system අවුල් නිසා, එකපාරටම හෙණ ගැහුවා වගේ නම්බර් එක අයින් වෙන්න පුළුවන්. එතකොට කරන්න දේකුත් නැහැ. සමාගම සම්බන්ධ කරගෙන මේ අවුල ලිහන්න හැදුවත් ඒක සාර්ථක වීමේ හැකියාව අවමයි.

අනික් කාරණාව, සමහර අය කියනවා 18+ දේවල් WhatsApp හරහා හුවමාරු කරගැනීම නිසා ගිණුම අක්‍රීය වෙන්න පුළුවන් කියලා. ඒත් මම මේක විශ්වාස කරන්නෙ නැහැ. මොකද, WhatsApp හරහා කරන සියළු සන්නිවේදන කටයුතු End to End Encryption මඟින් ආරක්ෂා කරලයි තියෙන්නේ. (Encryption ගැන දැනගන්න මගේ කලින් පෝස්ට් කියවන්න.) ඉතින් එහෙම ආරක්ෂිත මැසේජ් WhatsApp සමාගමට කියවීමේ හැකියාවක් නැහැ. මම දන්න විදියට නම් අපි ෂෙයා කරගන්න මුකුත් දේවල් කාටවත් දකින්න බැහැ. ඉතින් අපි හුවමාරු කරගන්නේ 18+ දෙයක්ද, මොකක් හරි රහස්‍ය ලියවිල්ලක්ද කියන එක අතරමැදියෙක්ට දැනගැනීමේ හැකියාවක් නැහැ.

එබැවින් එහෙම හේතුවක් නිසා ඔයාගෙ WhatsApp ගිණුම ban වීමේ හැකියාවක් නෑ. මම මේ 18+ ඒවා හුවමාරු කරගන්න දිරි ගැන්වීමක් කරනවා නෙවෙයි, මේවගෙ තාක්ෂණික පදනම තමයි මම මේ පැහැදිලි කළේ.

මම මේ කරුණු හෙව්වේ අන්තර්ජාලයෙන්, ගොඩක් සංෂිප්තව තිබුණ දේවල් දීර්ඝ වශයෙන්, සිංහලෙන් ඔන්න මම පැහැදිලි කළා. ඔයාලත් දන්නවා ඇති මේ WhatsApp ban කිරීම් සම්බන්ධයෙන්, ඒ දේවල් ගැන මාවත් දැනුවත් කරන්න පුළුවන් කමෙන්ට් එකක් දාලා. එහෙනම්, නැවත හමුවෙමු. ඔබට ජය!
Share:

Search This Blog

Follow by Email