Thursday, October 11, 2018

Computing වල Shell?

ඉස්සර ගෑස් කම්පැනියක් තිබුණා Shell Gas කියලා. පස්සෙ ඒක තමයි Litro Gas වුණේ. 😂 මේ කියන්න යන්නෙ ඒක ගැන නම් නෙවෙයි.

මේ කියන්න යන්නෙ Computing වල Shell ගැන. Computer වල OS වලත් Shell කියලා එකක් තියෙනවා. අද කතාව ආන්න ඒක ගැන.


සමහරවිට ඔයා Linux පාවිච්චි කරන කෙනෙක් නම්, මේ ෂෙල් කතාව අහලා ඇති. Windows වුණත් ටිකක් දැනගෙන පාවිච්චි කරන කෙනෙක් නම් ඔයත් මේ ෂෙල් කතාව කොහෙන් හරි අහලා ඇති. ඒත් කවදාවත් හිතුණෙ නැත්නම් මේ මොකක්ද මේ කියන මළ ඉලව්ව කියලා ඔන්න අද ඒ ගැන ඉගෙනගන්න අවස්තාව.

Shell එකකින් කරන්නේ Computer එක පාවිච්චි කරන User ට OS එකත් එක්ක Interact කරන්න පුළුවන් interface එකක් ලබා දීම. ගොඩක් දුරට මේ Shell එකෙන් කරන්නෙ OS එකේ Kernel එක එක්ක Interact කරන්න පුළුවන් විදියේ interface එකක් හදන එක. එතකොට මෙතන තවත් උභතෝකෝටික ප්‍රශ්ණයක් ආවද මොකක්ද Kernel එක කියන්නේ කියලා? හරි එහෙනම් ඒක ගැන බලන්න යමු. (ඇන්ඩ්‍රොයිඩ් පෝස්ට් සීරිස් එකේ ටිකක් මේ ගැන කතා වුණා, කමක් නෑ, අපි මේකෙ වෙනම කතා කරමු.)

Kernel

Kernel එක කියන්නෙ ඕනම OS එකක ඇට සැකිල්ල වගේ එකක්. 😂 ගෙඩියක නම් මදය වගේ එකක්. පොල් ගෙඩියක් ගත්තොත්, අර සුදු පාට පොල් මදය තමයි Kernel එක. පොල් කටුව තමයි Shell එක. පිටතට පේන්නෙ කටුව, මදය තියෙන්නේ ඇතුළේ. මේක නැතුව ඉතින් ආයෙ Computer එක හොල්ලනවා බොරු.

පරිගණකය On කරන අවස්ථාවේ මුලින්ම RAM එකට ලෝඩ් වෙන්නේ මෙන්න මෙයා. ඊට පස්සෙ මෙයා දිගටම Computer එක Off කරනකන්ම RAM එකේ ඉන්නවා. අන්න ඒ හේතුව නිසා, Kernel එක ගොඩක් සයිස් එක පොඩියට හදන්න මෘදුකාංග ඉංජිනේරු ශිල්පීන් උත්සාහ දරනවා. මොකද Kernel එකෙන් RAM එකේ වැඩි කොටසක් පරිභෝජනයට ගත්තොත් User ගේ වැඩ වලට RAM එක මදි වෙන නිසා. පොඩියට හැදුවයි කියලා මේකෙන් කරන්න ඕන වැඩ ටික නම් ඉතින් අනිවාර්යයෙන්ම වෙන්න ඕන. ඒකත් මේක හදනකොට මූණදෙන්න වෙන ප්‍රධාන ගැටළුවක්.

මේක RAM එකෙන් ගියොත් කිසි වැඩක් කරගන්න බැරි වෙන නිසා, Kernel එක සාමාන්‍යයෙන් ලෝඩ් වෙන්නේ රැම් එකේ ආරක්ෂිත ප්‍රදේශයකට.

අපි බලමුකො මෙයා කරන වැඩ මොනාද කියලා.

සාමාන්‍යයෙන් Kernel එක තමයි පරිගණකයේ මතකය කළමනාකරණය කරන්නේ. ආයෙ Process and task ටිකත්, disk ටිකත් මෙයා යටතේ තමයි තියෙන්නේ.
Kernel එකෙන් තමයි ඔයාගෙ Device එකේ Hardware කොටස් එක්ක මෘදුකාංග සම්බන්ධ කරන්නේ. ඒ මෙයාගෙ වැඩ වලින් ටිකක් විතරයි. ඔන්න දැක්කනෙ මේකෙ වැඩ ටික. ඉතින් කල්පනා කරලා බැලුවොත් මෙයා නැතුව මොකවත් කරගන්න බැරි හේතුව දැන් වැටහෙනවා ඇති.

ඒ වගේම වැටහෙනවා ඇති, මේ කර්නල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් Shell එකෙන් නෙ, ඉතින් Shell එකෙන් මුළු සිස්ටම් එකම වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් බව.

Shell එකට ඇයි ඒ නමින් අමතන්නේ?

Shell කියන්නෙ මොනාටද? අපිට නම් Shell Gas නේ මතක් වෙන්නේ. ආයෙ ෂෙල් වෙඩි? 😂 හා හා ඕන්නැති මගුල්ම නේ. Shell කියලා කියනවා පිට පොත්තට, කටුවට. සිප්පි කටුවට කියන්නෙ Sea Shell කියලා නේ? දැන් ඔය කබොල්ල කියන එක තියෙන්නේ පිටින් නේ. සතා හරි මොකා හරි ඉන්නේ ඇතුළේ. අර මම කලින් කිව්ව පොල් උදාහරණයත් මේකට හරි. පොල් කටුවට කියන්නෙත් Coconut Shell කියලා නෙ.

ආන්න ඒ තේරුමෙන් තමයි මේ Shell එකට ඒ නම වැටිලා තියෙන්නේ. Kernel එකේ පිට කටුව තමයි Shell එක. Kernel එක ගොළුබෙල්ලෙක් නම්, උගෙ කට්ට තමයි Shell එක. අපිට Kernel එකත් එක්ක කෙළින්ම ගණුදෙනු කරන්න අමාරු නිසා තමයි අපි මේ Shell එක එක්ක ගණුදෙනු කරන්නේ.

Shell වලට උදාහරණ

ෂෙල් වර්ග දෙකක් තියෙනවා.
  1. CLI shells
  2. GUI shells

CLI Shells


CLI කියන්නෙ Command Line Interface කියන එකනෙ. ඒ කියන්නෙ අර කළු පසුබිමේ සුදු අකුරු ගහන එපා කරපු සීන් එක. 😂 හැමෝටම ඒක "එපා කරලා" නෑ ඒකත් මතක තියාගන්න. Linux User කෙනෙක් තමයි ඔය එපා කරපු CLI එකේ වටිනාකම දන්නෙ. හරි ඒ පණ්ඩිතකමකින් වැඩක් නෑ, අපි බලමු CLI shells ගැන.

මේවා එක්ක වැඩ කරන්න ඉතින් අමාරුයි, ඒක කොහොමත් CLI වල තියෙන දෝෂයක් නේ. අපි ඔක්කොම Commands ගැන වෙනම ඉගෙනගන්න වෙනවා.

අපි උදාහරණ ටිකක් බලමු. මේ උදාහරණ වල Syntax එහෙමත් නැත්නම් codes type කරන පිළිවෙලවල් වෙනස්. ක්‍රම වෙනස්. ආන්න ඒකයි මේවයෙ වෙනස. ඒ වගේම මේවගෙන් කරන්න පුළුවන් වැඩත් අඩු වැඩි වශයෙන් වෙනවා. මෙතනින් දැනට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන Shell එක තමයි bash කියන්නෙ. ඔයා Linux based OS එකක් පාවිච්චි කරලා තියෙනවා නම්, ඔයා නොදැනුවත්වම සමහරවිට මේ bash shell එකෙන් වැඩ අරන් ඇති. මේ Shell වැඩ කරන්නේ Terminal එකේනෙ.

CLI based Linux/Unix Shells
  • sh - Bourne shell
  • bash - Bourne Again shell
  • csh & tcsh - C-Shell
  • ksh - Korn shell

ඔයාට Unix/Linux Shell ගැන ඇඬෙන්නම ඉගෙනගන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහින් බලන්නකො.
http://hyperpolyglot.org/unix-shells

CLI Based Windows Shells
  • Windows PowerShell

GUI Shells

Windows 10 GUI Shell
මේවා එක්ක User ට බොහොම පහසුවෙන් ඔබලා මිරිකලා වැඩ කරන්න පුළුවන් 😂 හැබැයි මේවා එක්ක අවාසිත් තියෙනවා. අන්න ඒ නිසා GUI Shell එකක් එක්ක එන හැම OS එකකම වගේ CLI Shell එකකුත් දාලා එවනවා.

Windows GUI Shells
  • Windows Shell
  • Cairo Shell

Unix/Linux GUI Shells
  • X Window

අර උඩ කිව්ව දෙකම Windows වලට එන Shells. Windows Shell කියන්නෙ වෙන අමුතු දෙයක් නෙවෙයි, වින්ඩෝස් වල GUI එකට. දැන් Windows users ලා උඩ ගිහින් බලනවා ඇති, යකෝ මමත් මෙච්චර කල් Shell එකක් පාවිච්චි කරලා මම දන්නෙත් නෑ කියලා. :P

X Window System එහෙමත් නැත්නම් X කියන්නෙ Unix-like OS වල තියෙන GUI base එක. Unix-like කිව්වෙ Linux ඇතුළු මහ OS පරම්පරාවක් ගැන. ඒ ගැන නම් කියන්න පෝස්ට් දෙක තුනක් යයි. ඒ කෙසේ වෙතත්, X Windows System එක පාදක කරගෙන හැදුව KDE, Gnome වගේ සුපිරිම Linux GUI තියෙනවා. ඒවට අපි කියන්නෙ Desktop Environments කියලා නේ. මම ඒ ගැන ඉදිරියෙදි වෙන වෙනම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Adapta KDE Theme on Ubuntu KDE Plasma

Ubuntu 18.04 with Gnome DE

ඔන්න ඔහොම ෂෙල් කතාව ගොඩක් දුර දිග ගියානෙ. අන්තිම වශයෙන් කියන්න ඕන, කොච්චර GUI ආවත්, සමහර Advanced වැඩ කරන්න CLI නැතුව බෑ කියන එක. එහෙම GUI වලින් විතරක් පුළුවන් නම් Windows PowerShell කියලා එකක් ඕන්නෑනෙ ඔච්චර මනරම් GUI තියෙන Windows OS වලට නේද? ගොඩක් Server based වැඩ වලට CLI නැතුවම බැරි වෙනවා. අන්න ඒකයි CLI වල වැදගත්කම.

අනික කට්ටිය නොදැනුවත්වම, GUI කිය කිය Shell පාවිච්චි කරලා නේද කියලත් දැන් දන්නවා ඇති. අපි අලුත් පෝස්ට් එකකින් එහෙනම් ආයෙත් මුණගැහෙමු. ඊළඟ පෝස්ට් එක බොහෝ දුරට Dark Web වල related එකක් වේවි. ජය වේවා!


Share:

Monday, October 1, 2018

Surface Web, Deep Web සහ Dark Web කියන්නෙ මොනාද?

බොහොම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුවා. කාලයක් තිස්සේ ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේ Deep Web/ Dark Web ගැන ටිකක් කියලා දෙන්න කියන එක. නමුත් ඒක කරන්න අමාරු වෙලා තියෙන්නේ මේ Dark Web යනුවෙන් හැඳින්වෙන ජාල වල තියෙන නීති විරෝධී දේවල් නිසා. ඒ කොහොම වෙතත් මම තීරණය කළා මේ ජාල වල තියෙන ගුණ අගුණ ගැන කියලා දීලා නීති විරෝධී දේවල් වලට පටලැවෙන්නේ නැතුව, නිවැරැදි විදියට මේ ජාල පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. මොකද මඟපෙන්වීමක් නැතුව ඔයාලා මේ ජාල වලට ඇතුළු වුණොත් කොහෙ නවතීද කියලා ඔයා වත් නොදන්න නිසා. ඒ නිසා, මතක තියාගන්න, මම මේ කියලා දෙන්නේ නීති විරෝධී දේවල් කරන විදිය නෙවෙයි, නීති විරෝධී දේවලින් වැළකෙන විදියයි.

මේ ලෝක විසිරි වියමනේ නොහොත් World Wide Web (WWW) එකේ ප්‍රධාන කොටස් තුන ගැන පැහැදිලි කරන්න මම පාවිච්චි කරන්නම් මුහුදක ආකෘතියක්. ඔන්න බලාගන්න.



දැන් අපි මේ කොටස් පැහැදිලි කරගමු.

Surface Web

සාමාන්‍ය බ්‍රවුසර් එකකින් ඔයාට බොහොම පහසුවෙන් පුළුවන් www.google.com වගේ ඇඩ්‍රස් එකක් ගහලා ඒ අදාළ වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් නේ Google, Yahoo, Bing වගේ සර්ච් එන්ජින් එකකින් ඔයාට ඕන අඩවියක් හොයාගන්න. එහෙම සර්ච් එන්ජින් එකකට අහු වෙන (Indexed) සහ අපිට සාමාන්‍ය විදියට, සාමාන්‍ය බ්‍රවුසර් එකක් (Chrome, Firefox, Edge ආදී) භාවිතයෙන්, එදිනෙදා ජීවිතේ දී අපි Access කරන අන්තර්ජාලයේ කොටසට අපි කියන්නේ Surface Web කියලා. මේ කියන්නෙ අර මුහුදේ රළ, උඩ පාවෙන නැව්, බෝට්ටු වගේ වෙරළක ඉඳන් දකින්න පුළුවන් දේවල්.

Deep Web

Deep web කියලා හඳුන්වන මේ කොටසත් WWW නොහොත් World Wide Web එකේම කොටසක්. නමුත් මේකේ වෙනස, Google වගේ Search Engine එකකට මේකේ තියෙන වෙබ් පිටු අහු නොවීම. මේ Deep Web අඩවි වලට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බ්‍රවුසර් එකක් ආධාරයෙන් පිවිසෙන්න පුළුවන්. හැබැයි ආයෙත් කියන්නම්, මේකෙ වෙනස මේ සයිට් ඉන්ඩෙක්ස් වෙන්නෙ නෑ. ඒ කිව්වෙ මේ අඩවියක තියෙන තොරතුරු Google එකෙන් සර්ච් කළාට අහු වෙන්නෙ නෑ.

මේ කොටසට අදාළ වෙනවා රජයේ වෙබ් අඩවි, (ලංකාව government සයිට් ගැන නම් හිතන්න එපා පිස්සු හැදෙයි :v ) විවිධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අඩංගු අඩවි, විවිධ රහසිගත වාර්තා ආදිය දක්වන්න පුළුවන්. හැබැයි නිවැරැදි Login details යොදාගෙන මේ අඩවි වල තොරතුරු සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් බොහෝ විට ලබාගන්න පුළුවන්. දැන් අපේ අර සමුද්‍ර ආකෘතියට අනුව අපි දැන් ඉන්නෙ ටිකක් ගැඹුරේ. අපි යමු තව ගැඹුරට.

Dark Web

හොඳයි දැන් අපි යන්න හදන්නේ මුහුදේ ගොඩක්ම ගැඹුරට. මේ කොටසට ඉර එළියක් වැටෙන්නෑ. අඳුරුයි. (Dark) ඒ කියන්නෙ මේ කොටස නම් අපිට අපේ Chrome Browser එකෙන් වත්, Firefox Browser (Original Firefox browser) එකෙන් වත්, Internet  Explorer එකෙන් වත්, Microsoft ලගෙ අලුත් මෙව්වා එක Edge වලින් වත් 😂 ඇක්සස් කරන්න බැහැ. ඇක්සස් කරන්න බැරි නම් ඒ නෙට්වර්ක් එක අහවල් කාරණාවකටද කියලා අහයි. මේක ඇක්සස් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ කරම වලින් තමයි මේ ගැඹුරේ තියෙන ජාල වලට පිවිසෙන්න පුළුවන් කම ලැබෙන්නේ.

Dark Web එක අස්සේ විවිධ ජාල ගොඩක් තියෙනවා. මේවගෙන් ප්‍රසිද්ධ වුණ ජාල කීපයක් මම පහතින් දාන්නම්. මේවායින් කරන්න පුළුවන් බොහෝ දේ නීති විරෝධී දේවල් තමයි. ඒත් අපි ඒ දේවල් බැහැර කරලා හරි දේවල් කරන්න තමයි මෙහෙම මේ කතාව ගැන ඉගෙනගන්නේ.

අපි බලමු මේ Dark Web ජාල මොනවද කියලා.
  1. Tor Network
  2. i2P Network
  3. Freenet
මෙතන මම නම් කරපු ජාල තුන හැරෙන්න, තවත් බොහෝ ජාල තියෙන්න පුළුවන් බව මතක තියාගන්න.

මම ඉහත කිව්ව ජාල තුනෙන්, වැඩි දෙනෙක් භාවිතා කරන සහ ප්‍රසිද්ධ ජාලය වෙන්නේ Tor ජාලය නොහොත් Tor Network එක. ගොඩක් අය Dark Web කියලා කියන්නෙත් මේ Tor ජාලයට. ඒත් ඔයාලා මතක තියාගන්න Tor Network එක කියන්නේ Dark Web එකටම අයිති එක පොඩි කොටසක් විතරයි කියලා. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර මත මම බලාපොරොත්තු වෙනවා Tor Network එකට ආරක්ෂිතව සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන කියලා දෙන්න.



මම කලින් කිව්වනේ, මේ Dark Web එකේ අඩවි ඔයාට සාමාන්‍ය බ්‍රවුසර් එකකින් Access කරන්න බෑ කියලා. මම ඔයාලට බලන්න දෙන්නම් Tor Network එකේ ලිංක් එකක්. නිකන් බ්‍රවුසර් එකේ ගහලා බලන්නකො. ලෝඩ් වෙනවද බලන්න. මේක ගැහුවා කියලා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.

https://facebookcorewwwi.onion/

මේ තියෙන්නේ Tor Network එක හරහා Facebook Official සයිට් එකට ලොග් වෙන්න පුළුවන් ලිංක් එක. දැක්කනෙ ආතල් එක? ඔයාලා කල්පනා කරනවා ඇති, ඇයි ඉතින් මේ Facebook සමාගම එයාලගෙ සයිට් එක Dark Web එකේ ජාලයක් වුණ Tor Network එකෙන් ඇක්සස් කරන්න පුළුවන් විදියට ලිංක් එකක් දෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්ණ වලට පිළිතුරු අරන් මම වෙනම පෝස්ට් එකක් අරන් එන්නම් Tor ජාලය ගැන.

අවසාන වශයෙන් මතක තියාගන්න, "හා දැන් මම දන්නවා Deep Web, Dark Web ඔක්කොම, අද දෙන්නං පුතා බැටේ, මම තමයි දැන් පොර" කියලා නටාගෙන ගිහින් කෙළවාගන්න එපා. මොකද, Dark Web එක කියන්නේ Hacker ලගේ පාරාදීසයක්. අර ෆේස්බුක් පාස්වර්ඩ් එක හොරකම් කරලා යාළුවගෙ අකවුන්ට් එකට ලොග් වෙලා "මම ආස කොල්ලන්ට" කියලා පෝස්ට් දාන සිඟිති හැකර් ලා ගැන නෙවෙයි මම මේ කියන්නෙ. Apple iCloud එකට ෂොට් එක දුන්න, Sony PlayStation එක හැක් කරලා පාස්වර්ඩ් මිලියන ගණන් උස්සපු, ඉරාන න්‍යෂ්ටික බලාගාර වල කම්පියුටර් හැක් කරපු හැකර් ලා ගැන. ඉතින් හිතාගන්න ඔයාගෙ කම්පියුටර් එක මොන තරම් පොඩි ගේමක්ද කියලා. 😂

අන්න ඒ නිසා, ගොඩක් පරිස්සම් වෙන්න. මම ඉදිරියේදී කියලා දෙන්නම් පුළුවන් තරම් ඇඟ බේරන් Tor Network එක ඇක්සස් කරන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.

අනික් එක, ගොඩක් කට්ටිය Darknet සහ Dark Web පටලවන් ඉන්නෙ. Darknet කියන එක වෙනම කතාවක් සහ මේකට අදාළ කරගන්න ඕන එකකුත් නෙවෙයි. Darknet කියන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕන අයට මම Wikipedia ලිංකුවක් දෙන්නම්, ගිහින් බලන්න.  https://en.wikipedia.org/wiki/Darknet  මොකද මම ආස නෑ අදාළ නැති එකක් මේක අස්සේ ගහලා මේක අච්චාරුවක් කරන්න. මතක තියාගන්න ඕන Darknet කියන්නෙ මේ මාතෘකාවට අදාළ දෙයක් නෙවෙයි කියන එක. අපි කතා කරන්නේ Dark Web කියන එක ගැන.
***

හොඳයි එහෙනම්, ගිහින් එන්නම්... කට්ටියට Tor Network එක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රතිචාර අනුව තමයි ලියන්න හිතන් ඉන්නෙ. මොකද මේ ටිකේ ටිකක් විතර වැඩ අධිකයි. තාක්ෂණය නිවැරැදි විදියට භාවිතා කරන්න. ඔබට ජය!
Share:

Search This Blog

Follow by Email