Sunday, August 12, 2018

100% සීනි රහිත බීම, පැණිරස වෙන්නේ කොහොමද?

කාලෙකින් පෝස්ට් එකක් දාන්න නොහැකි වුණ නිසා, මම හිතුවා පෝස්ට් එකක් දාන්න ඕන කියලා. Encryption ගැනත් පෝස්ට් එකක් එන්න තියෙනවා, ඒක ටිකක් පිටිපස්සට දාලා මේ අලුත් කතාව ගැන කතා කරමු.
***

 
ටික කාලෙකට කලින් ලංකාවේ නීතියක් ආවා හැම බීම වර්ගයකම තියෙන සීනි ප්‍රතිශතය අනුව ඒවා වර්ග කළ යුතුයි කියලා. ඒ එක්කම ඒවා පිටින් ලේබලයේ ඒක සඳහන් කරන්නත් ඕන වුණා. රතු, කහ, කොළ වශයෙන් පාට ලබා දීමකුත් වුණා. ලේබලයේ රතු පාට ඩොට් එකක් තියෙනවා නම් ඒ බීම එකේ අධික සීනි මට්ටමකුත්, කහ පාට ඩොට් එකක් නම් ඒකේ මධ්‍යම සීනි මට්ටමකුත්, කොළපාට ඩොට් එකක් සහිතව එනවා නම් ඒක මඳ සීනි හෝ සීනි රහිත බවත් දැක්වීම ආරම්භ කළා.



මම මුලින්ම දැක්ක සීනි රහිත බීම එක තමයි කොකාකෝලා වලට ආදේශකයක් ලෙස ආව කොකාකෝලා සමාගමෙන්ම හැදුව Zero Coke කියන බීම වර්ගය. ඊට පස්සේ ලංකාවේ සියළුම බීම වර්ග සීනි රහිත කියන ලේබලයත් එක්ක එන්න ගත්තා. දැන් මට ආව මුල්ම ගැටළුව තමයි, මේ බීම එකක් සීනි නොමැතිව පැණි රස කරන්නේ කොහොමද කියන එක. එහෙම පැණිරස කරන්න යොදන රසායන ද්‍රව්‍යක් වෙනවා නම් ඒක අපේ ශරීරයට හිතකර ද කියන කාරණාව.

ඒ ගැන හොයාගෙන ගිය ගමනේදි මම එකතු කරගත්ත තොරතුරු ටික මම මේ පෝස්ට් එකේ පෙළගස්වන්නයි හදන්නෙ. මේ ක්ෂේත්‍රය ගැන මම ප්‍රවීණයෙක් නම් නෙවෙයි, මම බොහොම කැමතියි කවුරු හරි දන්න කෙනෙක් මේ කරුණු සංශෝධනය කරන්න හරි, අලුතින් යමක් එකතු කරන්න හරි දායකත්වයක් ලබා දෙනවා නම්, එහෙනම් අපි බලමු මම හොයාගත්තේ මොනාද කියලා.


Stevia - (Stevia rebaudiana bertoni) නොහොත් පැණි පලා

සීනි නොමැතිව පැණි රස ලබාගන්න බහුලවම භාවිතා වෙන්නේ මෙන්න මේ ශාකය තමයි.  ලංකාවේ මේ ශාකය වවන කෙනෙක් ගැන විස්තරයක් ලංකාදීපයේ පළ වුණා. ඒක මෙන්න මෙතනින් (Click here for Lankadeepa article) කියවන්න පුළුවන්. ඒ ලිපියේ මේ ශාකය ගැන සෑහෙන්න විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එතන තියෙන දේවල් ආපහු මම මෙතනට අරගෙන එන්න උත්සාහ කරන්නෙ නෑ. මම මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒ ශාකයේ තියෙන පැණි රස ඇති කිරීමේ රසායනික සංයෝගය, ඒ සංයෝගය පැණි රස ඇති කරන්නේ කොහොමද සහ මේ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට හිතකරද යන කාරණා ගැනයි

Stevia වල පැණි රස ඇති කිරීමේ රසායනික සංයෝගය.

Stevia කියන්නේ සීනි වගේ 200 ගුණයක් විතර පැණි රස සංයෝගයක් සහිත ශාකයක්. හැබැයි, මේකේ හොඳම දේ තමයි මේ පැණි රස නිසා රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ යන්නේ නැති වීම. ඔයාලා දන්නවනෙ, ඉන්සියුලින් මට්ටමේ වෙනස් කම් දියවැඩියා රෝගයට ඍජුවම බලපාන බව.  ඉතින් අන්න ඒක තමයි මේ ශාකයේ වැදගත් කම. 
Stevia ශාකයේ පත්‍ර වල තියෙන පැණි රස ඇති කිරීමට මූලික වෙන සංයෝග කාණ්ඩය තමයි Steviol glycosides කියන්නේ. මේකේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි.
  • Stevioside (5–10%) 
  • Rebaudioside A (2–4%) 
  • Rebaudioside C (1–2%) 
  • Dulcoside A (0.5–1%) 
  • Rebaudioside B 
  • Rebaudioside D 
  • Rebaudioside E
මේ සංයෝග ටික අතරින් මූලික සංයෝග (ජෛවාණු) දෙක තමයි stevioside සහ rebaudioside කියන්නෙ. අපි මේ දෙක ගැන වෙන වෙනම බලමු. 

Stevioside



Stevioside කියන්නේ Glycoside ප්‍රභේදයක් නෙ, Glycoside එකක් කියන්නේ සීනි, කිසියම් ක්‍රියාකාරී කාණ්ඩයක් එක්ක ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳීමෙන් හැදෙන සංයෝග වලට. මේ ගැන උසස්පෙළ ට තාක්ෂණවේදය හදාරපු අය නම් දන්නවා මං හිතන්නෙ. (දැන් ඉතින් මේවා පැණි රස ඇයි කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.)

මේකේ රසායනික සූත්‍රය මෙන්න මෙහෙමයි. C38H60O18. (සාමාන්‍ය සීනි නොහොත් සුක්‍රෝස් වල රසායනික සූත්‍රය මෙන්න මේකයි C12H22O11)

IUPAC නාමකරණය අනුව මේ සංයෝගයේ නම මෙන්න මේකයි. 13-[(2-O-beta-D-Glucopyranosyl-alpha-D-glucopyranosyl)oxy]kaur-16-en-18-oic acid beta-D-glucopyranosyl ester හරි, දැන් කියන්න දෙයක් නෑ නෙ මේක හෙන සංකීර්ණ ව්‍යුහයක් තියෙන සංයෝගයක්.

මේක Stevia පත්‍ර වලින් නිස්සාරණය කරගත්තොත් සුදු පැහැති කුඩු විදියටයි තියෙන්නේ. මේ සංයෝගය ගොඩක් පැණි රස වුණාට, පරිභෝජනයෙන් ටික වෙලාවකින් යම් තිත්ත රසයකුත් එන බවයි සඳහන් වෙන්නේ.


Rebaudioside 


මේ සංයෝගයේ ආකාර Rebaudioside A, Rebaudioside B, Rebaudioside C, Rebaudioside D සහ Rebaudioside E වශයෙන් පවතිනවා. Steviol glycoside සංයෝගයේ මූලිකවම අන්තර්ගත වෙන්නේ Rebaudioside A කියන ප්‍රභේදයයි. අනෙක් ප්‍රභේද අන්තර්ගත වන්නේ ස්වල්ප වශයෙන්. ඒ නිසා අපි Rebaudioside A ගැන ඊළඟට කතා කරමු. 

Rebaudioside A කියන්නේත් ඉතින් Glycoside ප්‍රභේදයක් තමයි. මේකේ රසායනික සූත්‍රය මේකයි. C44H70O23 මේක Stevioside වලටත් වඩා තඩි අණුවක්.

මේකේ IUPAC නාමකරණය වෙන්නේ මෙන්න මෙහෙමයි. 19-O-beta-glucopyranosyl-13-O-(beta-glucopyranosyl(1-2)-beta-glucopyranosyl(1-3))-beta-glucopyranosyl-13-xhydroxykaur-16-en-19-oic acid 

Stevia වල තියෙන පැණිරස කාරක අතරින් වඩා හොඳ යැයි සම්මත කාණ්ඩය තමයි මේ. මේකට කෙටියෙන් Reb-A කියලත් කියනවා.

Stevia නිසා අපේ සෞඛ්‍යයට වෙන බලපෑම


හොඳයි, එහෙනම් මේ වෙනකොට අපි දන්නවා ඔය සීනි රහිත බීම ජාති පැණි රස වෙන්න හේතුව සහ ඒවගේ අන්තර්ගත පැණි රස ඇති කිරීමේ රසායන ද්‍රව්‍ය ගැන. අපි ඊළඟට බලමුකො මේක අපේ ශරීරයට හිතකරද නැද්ද කියලා. 

ඇමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය මඟින් නම් මේ Stevia ශාකයේ කොළ තලලා, පිටි කරලා අරගෙන භාවිත කිරීම අනුමත කරලා නැත. එයාලා අනුමත කරලා තියෙන්නේ පිරිපහදු කළ Rebaudioside A වලින් හැදුව Stevia නිෂ්පාදන පමණයි. ඒ කියන්නෙ ඉතින් අර විදියට කොළ එහෙම් පිටින් වේලලා කුඩු කරලා ගන්න එකේ මොකාක් හරි කොස්සක් තියෙන්න ඕන. 

කෙසේ වෙතත්, මේ Stevia ශාකයෙන් ලබාගන්නා රසායනික සංයෝග නිසා අපේ රුධිරගත සීනි මට්ටමේ නම් වැඩි වීමක්  ඇති වෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. හැබැයි, Stevia ශාකයෙන් ලබාගන්නා පැණිරස කාරකයන්ට පුළුවන්ලු රුධිරගත සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම ටිකක් අඩු කරන්නත්.

ඒ හැරෙන්න, Stevia මඟින් පැණි රස කරපු ආහාර / බීම වර්ග පාවිච්චි කරපු සමහර අයට බඩ පුරවාදැමීම, ඔක්කාරය වගේ දේවල් හැදිලා තියෙනවා. ඒ වගේම සමහර අයට Stevia වලින් පැණි රස කරපු බීම එකක් බිව්වට පස්සේ අමුතු තිත්ත රසක් වගේ අප්පිරිය හිතෙන රහක් එනවා කියලා තියෙනවා. (මේක නම් මටත් තියෙනවා.)

දැනට නම් මම අන්තර්ජාලයේ දැක්කේ මේකෙ අහිතකර දේවල් මෙච්චරයි. කවුද දන්නෙ, ඉස්සරහට මේකෙ මොන මොනා හරි අවුල් ගැන ආරංචි වෙයි. මම එක තැනක දැක්කා මේක පිළිකා කාරකයක් කියලා. ඒක ගොඩක් විවාද වලට හේතු වුණ කතාවක් නිසා ඒ ගැන කියන්න තාම කල් වැඩී. අද කාලෙ ඉතින් අපි කන ගොඩක් දේවල් පිළිකා කාරක තමයි දෙයියනේ කියලා.  

***

එහෙනම් මම හිතන්නෙ මේ කරුණු එකතුව ඇති වගේ. තව මොනා හරි මේකට එකතු වෙන්න ඕන නම්, අර මම මුලින්ම කියලා පටන්ගත්තා වගේ, මේකට එකතු කරන්න, කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. බොහොම ස්තුතියි, ඔබට ජය!
Share:

0 comments:

Post a Comment

Search This Blog

Follow by Email