Friday, July 27, 2018

Encryption ගැන සරලව සිංහලෙන් - 1 Hashing



මේ පෝස්ට් එක පටන්ගන්න කලින්, මම ඔයාලට මතක් කරන්න ඕන ඇයි මේ Encryption කියන වචනය අපේ බ්ලොග් එකේදි කතාවට ආවේ කියලා, ඒක ගැන අපි කතා වුනේ අපේ "මොනාද අර VPN?" පෝස්ට් එකේ. ඉතින් එතනදි මම පොඩි පැහැදිලි කිරිමක් කළා මොකක්ද මේ Encryption කියන්නේ කියලා. ඉතින් ඒක ආයෙ මම මෙතන කොපි පේස්ට් කරනවට වඩා හොඳයි ඔයා ගිහින් ඒ පෝස්ට් එක කියවනවා නම්.  මෙතනින් ගිහින් ඒ පෝස්ට් එක කියවලා එන්න. මම මේ උත්සාහ දරන්නේ කට්ටිය බය වෙන වචන වෙන Encryption, Cryptography කියන ඒවා වල තියෙන බය ගතිය යවලා ඒ වචන වලට ඔයාලගේ හිතෙත් ආසාවක් ඇති කරවන්නයි.

***
හොඳයි, එහෙනම් අපි දැන් දන්නවනෙ Encryption කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා. අපි අද ඒ ගැන තව ටිකක් දුරට වැඩියෙන් ඉගෙනගනිමු. 

Encryption ගැන කතා කරනකොට ඒකේ මුලටම කතා වෙන කොටස් තුනක් එනවා ඒවා තමයි...
  1. Hashing
  2. Symmetric Methods -  සමමිතික ක්‍රම
  3. Asymmetric Methods -  අසමමිතික ක්‍රම
අපි මේ එකින් එක ගැන, වෙන වෙනම අවධානය යොමු කරමු.

Hashing

ඇත්තටම, Hashing කියන්නෙ මොකක් හරි පණිවුඩයක් හෝ ගොණුවක් Encrypt කරන ක්‍රමයක් නෙවෙයි. හරි, අපි මේක එහෙනම් මොකක්ද කියලා උදාහරණයකින් පැහැදිලි කරගමු.

ඔයාලා දන්නවනේ අර කතාව, මරන්න එපා, නිදහස් කරන්න. කියන සීන් එක. දන්නැත්නම් ඔන්න අද දැනගන්න මම කතාව කියා දෙන්නම්,

ඉස්සර රජ කාලේ යම්කිසි වැරැද්දක් කළා කියලා සැක කරපු මනුස්සයෙක් මරණ දණ්ඩනය දෙන්න කියලා නියම වුණාලු. මරණ දණ්ඩන තීන්දුවත් දුන්නට පස්සේ ඒ මනුස්සයා මරන්න අරගෙන යන මොහොතේ ලැබුණ හදිසි තොරතුරක් මත රජතුමාට දැනගන්න ලැබුණලු අර ටිකකට කලින් තමන් මරණ දණ්ඩනයට නියම කළ මිනිහා ඇත්තටම අහිංසකයෙක් කියලා. ඉතින් රජතුමා කොළ කෑල්ලක් අරන් ලිව්වලු, "ඔය මනුස්සයා මරන්න එපා, නිදහස් කරන්න" කියලා. ඒ කොළය එක්තරා රාජ පුරුෂයෙකුට දීලා කිව්වලු "ඔන්න ඕක වධකයාට ගිහින් දෙන්න" කියලා. කරුමෙට මේ රාජපුරුෂයා අර මරන්න අරන් යන එකාගෙ තරහ කාරයෙක් ලු. මේ යකා අර රජා දුන්න මැසේජ් එක මොඩිෆයි කරාලු මෙන්න මෙහෙම. "ඔය මනුස්සයා මරන්න, එපා නිදහස් කරන්න" කියලා, කොමාවක් විතරක් වෙනස් කරාලු.  ඉතින් දැන් මැසේජ් එකේ තියෙන්නේ වෙනම තේරුමක්නෙ, අර මිනිහා මරපන්, නිදහස් කරන්න එපා කියලානෙ. ඒ මනුස්සයා ඉතින් අන්තිමේ වරදක් නොකරම ජීවිතයෙන් වන්දි ගෙවලා.

දැක්කනේ, මැසේජ් එකේ පොඩි වෙනස්කමක් නිසා වුණ දේ? අන්න ඒකයි Hashing කියන එක තියෙන්නේ. අපේ රජා හිටිය කලෙත් Encryption තිබුනා නම් ඔහොම දෙයක් වෙන්නෑ. Hashing වලින් කරන්නේ අර රාජ පුරුෂයා කළා වගේ කුප්ප වැඩ වෙන එක නවත්තන එක. ඒ කියන්නේ, අපි කාට හරි යවන මැසේජ් එක (අකුරු හෝ ඕනෑම ගොණුවක්) කිසිම වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම අදාළ මැසේජ් එක ලබාගන්න කෙනාට ලැබුනාද කියන එක 100% ක් නිවැරදිව පරීක්ෂා කිරීමක් තමයි Hashing වලින් වෙන්නේ.

මේක මැසේජ් එකක් විතරක් නෙවෙයි, උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා Windows 10 මෙහෙයුම් පද්ධතියේ .iso ඉමේජ් ෆයිල් එක ඉන්ටනෙට් එකෙන් බාගත කරගන්නවා කියලා. මොකක් හරි කනෙක්ෂන් එරර් එකක් හෝ යම්කිසි හේතුවක් නිසා මේ ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක Corrupt වෙනවා. (හානි වෙනවා) ඒක Download Manager එකේ පෙන්නන්නේත් නැති වුණොත්, ඔයා හානි වුණ iso එකකින් Windows 10 ගහන්න ගිහින් ලොකු අමාරුවක වැටෙනවා. මේ වගේ අවස්ථාවක වුණත් මේ Hashing කියන එක ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාට පුළුවන් Hashing කියන ක්‍රමය භාවිතයෙන් ඔයාගෙ iso ෆයිල් එක නිසි ආකාරව බාගත වුණාද කියලා පරීක්ෂා කරගන්න. ඒ කොහොමද කියලත් ඉස්සරහට බලමු.

Hashing වලදී වෙන්නේ මොකක්ද?

ඔයා ගාව තියෙන්න යම්කිසි Text එකක් හෝ යම්කිසි File එකක් ගැන සලකා බැලීමෙන් ඒ Text එකට හෝ File එකේ අන්තර්ගතයට අදාළව, ගණිතමය ක්‍රමයකින්  ඉලක්කම් සහ අකුරු සහිත Text String එකක් Generate කිරීමක් තමයි Hashing වලදී වෙන්නේ.

මේ ගණිතමය ක්‍රමය අපි Hashing එක කරන විදිය අනුව වෙනස් වෙනවා. Hashing කිරීමෙන් අපි මේ ලබාගන්න Text String එකට අපි කියනවා Hash එක කියලා.  මේ විදියට Hash එකක් ලබාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. MD-5, SHA-1 සහ SHA-256 කියන්නෙ අන්න ඒ වගේ ගණිතමය ක්‍රම (ඇල්ගොරිදම්) වල නිතර භාවිතා වන උදාහරණ කීපයක්.

Hash එකක් generate කරලා බලමුද?

ඔයා ආස නම් ඔයා ගාව තියෙන ඕනම ෆයිල් එකක MD-5 Hash එක මොකක්ද බලන්න, මෙන්න මේ විදියට ඒක කරන්න පුළුවන්.

Windows 10

වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ වින්ඩෝස් නිසාත් මම පාවිච්චි කරන්නම අකමැතිම වින්ඩෝස් නිසාත් ඒක ඔන්න මුලින්ම බලමු. ඔන්න පුතේ අපි හැකර් ස්ටයිල් එකට යන්න හදන්නේ. ඕයේ හැකර් ස්ටයිලේ කියලා උඩ පනින්න ලෑස්ති වෙන්ඩ එපා මම විහිළුවක් කරේ. :P මොකද CMD එකේ කමාන්ඩ් එකක් ගැහුවම ඔයා හැකරෙක් වෙනවා නම් අපි ඔක්කොම හැකරෝ තමයි, හරි ඒවයින් වැඩක් නෑ, වැඩේට බහිමු.

මුලින්ම ඔයාගෙ කම්පියුටර් එකේ ඕනම තැනක, ඕනම ලොකේෂන් එකක හිස් ෆෝල්ඩර් එකක් හදලා මොකක් හරි ඔයා ආස ඕනම ෆයිල් එකක් දාගන්න. ඔයාට පුලුවන් ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් (අර Oppo එකෙන් බූතයා වගේ ගත්ත ෆොටෝවක් ඕකේ) හරි, සින්දුවක් හරි ඕනම බහුබූතයක් ඕකට දාගන්න. ටිකක් සයිස් එකෙන් අඩු ෆයිල් එකක් ගන්න මොකද MD5 එක ජෙනරේට් වෙන්න ටිකක් වෙලා යාවි.

මම නම් කළේ බොහොම අහිංසක විදියට Desktop එකේ හිස් ෆෝල්ඩර් එකක් හැදුවා, ඒක නම් කළා Hashing කියලා. ඒකෙ මම text ෆයිල් එකක් හැදුවා ඒකේ අනන් මනන් ටිකක් ටයිප් කරලා සේව් කළා TextFile.txt කියලා. ඔයාට මේ txt ගන්න කියලා නියමයක් නෑ, jpg, mp3, mp4, pdf, pptx අනන් මනන් ඕනම මගුලක් මේකට ඕකේ. (මේ images අපහැදිලි නම් ඒවා උඩ ක්ලික් කරන්න / Tap කරන්න. එතකොට ඒවා විශාලව බලාගන්න පුළුවන්.)


අන්න, දැක්කනෙ මගේ අහිංසක ෆයිල් එක? ඔන්න ඔහොමයි ඕක හදාගන්න ඕන.

ඊළඟට ඔයා Right Click කරන්න ඕන Task Bar එකේ අර වම් පැත්තේ කෙළවරේම තියෙන Windows icon එක උඩ  (ඉස්සර Start button එක තිබුණ තැන). එතකොට මෙන්න මේ වගේ මෙනු එකක් ඒවි.


අන්න එතනින් ඔයා තෝරන්න ඕන Run කියන අයිටම් එක. එතකොට ඔයාට දුවන්න හැකියාව ලැබෙනවා ෆ්ලෑෂ් වගේ. හා, එහෙම නෙවෙයි, ඒක එබුවම මෙන්න මේ වගේ සූටි වින්ඩෝ එකක් ඒවි.

ඔය සූටි Run Window එකේ ඔයා ටයිප් කරන්න cmd කියන අකුරු තුන, ඊළඟට ඔබන්න Enter key එක, නැත්නම් ක්ලික් කරන්න OK බට්න් එක.

එතකොට එනවා... Hacker Style වින්ඩෝ එක නෙවෙයි... එන්නේ Windows CMD නොහොත් Windows Command Prompt වින්ඩෝ එක.


ම්ම් දැක්කා නේද කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට අකුරු වල තියෙනෙ ලස්සන ඈ? :P හරි හරි ඊළඟ වැඩ ටික තියෙන්නේ ඕකේ තමයි.
(මේ වැඩේ මෙහෙම නොකර Windows PowerShell එකෙන් කරන්නත් පුළුවන්, ඊට වඩා පරණ CMD එක හොඳයි ඈ.)
හරි දැන් ඊළඟට කරන්න තියෙන්නේ Command Prompt එක භාවිතයෙන් අපි අර මුලින්ම හදාගත්ත ෆෝල්ඩර් එකට පිවිසීම. ඒක කරන්න අපිට උපකාරී වෙනවා cd නොහොත් Change Directory කමාන්ඩ් එක. දැන් කරන්න තියෙන්නේ මේකයි, Command Prompt එකේ ටයිප් කරන්න ඕන

cd<හිස්තැනක්>ඔයාගෙ_ෆෝල්ඩර්_ලොකේෂන්_එක

ඒක තේරුම්ගන්න මේ පහළ පින්තූරය බලන්නකො, මම ටයිප් කරලා තියෙන්නේ මගේ ෆෝල්ඩර් ලොකේෂන් එක. මේක ඔයාගෙ device එකේ මේකම වෙන්නෙ නෑ ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න ඔය ලොකේෂන් එක හොයාගනිද්දි. බය වෙන්නෙපා එහෙම වැරදුණා කියලා ඔයාගෙ මැෂින් එක පුපුරන්නෑ. :P


ෆෝල්ඩර් ලොකේෂන් එක හොයාගන්න පුළුවන් Windows Explorer එකෙන් ඒ ෆෝල්ඩර් එකට ගිහිල්ලා, Explorer වින්ඩෝ එකේ තියෙනෙ Address Bar එක උඩ ක්ලික් කරලා. ඔය ලොකේෂන් එක හොයාගන්න අමාරු නම් පොඩ්ඩක් Search එකක් දාලා බලන්න මේක බොහොම සරල වැඩක්. 

ඕක හරියට ටයිප් කරලා ඔබන්න Enter කී එක ඔයාගෙ කීබෝඩ් එකේ. එතකොට මෙන්න මේ වගේ ලයින් එකක් Command Prompt එකේ ඒවි.


හරි ඔන්න දැන් තමයි වැඩේ, මෙන්න මේ කමාන්ඩ් එක හරියටම නිවැරදිව Command Prompt එකේ ටයිප් කරන්න ඕන. නැත්නම් කොපි පේස්ට් හරි කරගන්න හැබැයි ඒක ඔයාගෙ ෆයිල් නේම් එකේ හැටියට වෙනස් කරගන්න වැඩේ අනාගන්නෙ නැතුව.

certutil -hashfile ඔයාගෙ_ෆයිල්_එකේ_නම_සහ_එක්ස්ටෙන්ෂන්_එක MD5

මෙන්න මගේ ෆයිල් එකේ නමට ගැලපෙන උදාහරණය. (දෙයියනේ කියලා මතක ඇතුව එක්ස්ටෙන්ෂන් එක නම් ටයිප් කරන්න.)

certutil -hashfile TestFile.txt MD5

ඔන්න පහළ පින්තූරයෙන් බලන්නකො මම ඒක ටයිප් කරලා තියෙන විදිය.


හරි, දැන් අමාරු කාරිය අහවරයි, ඔබන්න කීබෝඩ් එකේ Enter Key එක එතකොට මෙන්න මේ වගේ Output එකක් ඒවි. අන්න එතන තියෙනවා ඔයාගේ ෆයිල් එකට අදාළ MD-5 Hash එක. මට ආව Output එක මම පහළින් දානවා ඔන්න බලාගන්න.


ඒ Output එකේ විදියට, මගේ අහිංසක ෆයිල් එකේ MD-5 Hash එක තමයි,

2516df4cbe5cc804a2c37fcdf81b645c

ඔය හෑෂ් එක අනිවාර්යෙන්ම ඔයාගෙ ෆයිල් එකේ වෙනස් වෙන්න ඕන. ඔන්න එහෙනම් අපි MD5 Hash එකකුත් generate කළා නේද? හරි ඔන්න ඔහොමයි ඕක කරන්නෙ.

Linux Mint/Ubuntu/ElementaryOS

ඔන්න එහෙනම් මගේ කැමතිම OS සෙට් එකට ආවා. මේවා පාවිච්චි කරන අයට ඉතින් දෙයියනේ කියලා Command Line කියන්නෙ හරි සුපුරුදු දේවල්. මම මෙයාලා වෙනුවෙන් දාන්නේ එකම එක ScreenShot එකයි.

කරන්න තියෙන දේ බොහොම සරලයි. File Manager එකෙන් ඔයාට ඕන ෆයිල් එක තියෙන තැනට යන්න, Right Click කරන්න, ඒ ලොකේෂන් එකේ Terminal එක ගන්න, ගහන්න මෙන්න මේ කමාන්ඩ් එක.

md5sum ඔයාගේ_ෆයිල්_එකේ_නම_එක්ස්ටෙන්ෂන්_එක_සමඟ

මෙන්න මගේ උදාහරණය.

md5sum TestFile.txt

ඕක ගහලා Enter ඔබන්න සනිකව එයි Hash එක. මෙන්න මේ පහළ පින්තූරේ විදියට.

(රතු පාට පටි දෙක නොසලකාහරින්න :P)

ඔන්න ඒකෙනුත් ආවේ අර වින්ඩෝස් වලින් ආව Hash එකම තමයි.

2516df4cbe5cc804a2c37fcdf81b645c

Android

ඇන්ඩ්‍රොයිඩ් වලින් මේ වැඩේ කරන්නත් පුළුවන්, ඇත්තටම බොහොම පහසුවෙන් පුළුවන් ES File Explorer කියන App එකෙන්. ඔයා ගාව ඒ ඇප් එක නැත්නම් මෙතනින් බාගන්න.

ඒක ගොඩක් Android users ලා භාවිතා කරන ඇප් එකක් නිසා මම ඒකෙන් MD5 Hash එක නොහොත් Checksum එක බලාගන්න විදිය පෙන්නන්නම්. ඕන නම් මේ වැඩේ කරන්න පුළුවන්  Solid Explorer File Manager ඇප් එකෙනුත්.

මුලින්ම ඔයාට MD5 Hash එක හොයාගන්න ඕන ෆයිල් එක ES File Explorer ඇප් එකෙන් හොයාගන්න. මෙන්න මේ වගේ. මම මේකට භාවිතා කළේ කලින් පාවිච්චි කරපු මගේ අහිංසක text ෆයිල් එකම තමයි.


ඊට පස්සෙ ඒ ෆයිල් එක උඩ ටිකක් වෙලා Touch කරගෙන ඉන්නකොට ඒ ෆයිල් එකට කොළපාටින් හරි සලකුණක් වැටෙයි, එතකොට පහළින්ම තියෙන Bar එකේ කෙළවර තිත් තිනක් සහිත බට්න් එක tap කරලා ඔයාට පුළුවන් මෙන්න මේ පහළ පිංතූරයේ තියෙන මෙනු එක ඕපන් කරගන්න.



අන්න එතනින් ඔයා තෝරන්න ඕන Properties කියන item එක. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වේවි.



එතන තියෙන Show Checksum කියන බට්න් එක ඔබලා ඔයාට පහසුවෙන් පුළුවන් ඔයාගෙ ෆයිල් එකේ MD5 Checksum එක නොහොත් Hash එක ගණනය කරලා ලබාගන්න. ඒ විතරක් නෙවෙයි, SHA-1 Hash එකත් ඔතනින්ම බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.


ඔයාට පුළුවන් අර කලින් කිව්ව විදියටම (කෝඩ් එකේ පුංචි වෙනසක් කරලා, MD5 වෙනුවට SHA1 හෝ අදාළ එක යොදලා) අනෙක් ඇල්ගොරිදම් ක්‍රම වල Hash එකත් ගනනය කරගන්න.

දැක්කනෙ, වැඩේ හරිම සරලයි. එහෙනම් අපේ Practical Session එක ඉවර කරලා ආයෙත් Theory පැත්තට යමු.

Hashing වල භාවිතය

Hashing කියන දේ භාවිතා වෙන්නේ මොන වගේ තැන් වලදීද කියන එක ගැන පොඩි අවබෝධයක් මම කලින් ඔයාලට දුන්නා නෙ, ඒ වගේම මේ Hashing කියන ක්‍රමවේදය භාවිතා වෙනවා Database එකක Key Values නිසි ආකාර පිළිවෙලකට ගබඩා කිරීමේදී. ඒ ලොකු කතා මේ පෝස්ට් එක අස්සේ රිංගවන්න අමාරුයි, ඒ නිසා බලමු මේ Hash එකක් ක්‍රියාත්මක වෙන ආකාරය.

Hash එකක් Encryption වලදී භාවිතා වෙන ආකාරය.

මේ ගැන අපි පැහැදිලි කරගමු, මම පියුමි හංසමාලිට (අරයා නෙවෙයි, මේ වෙන කෙනෙක්) යවන WhatsApp මැසේජ් එකක් සලකා බලලා. WhatsApp කියන්නේ End to End Encryption සහිත ආරක්ෂිත මැසේජ් යවන්න පුළුවන් ක්‍රමයක්, එහෙනම් ඔන්න මම පියුමිට මැසේජ් එකක් දානවා.

මම පියුමිට ආරක්ෂිත මැසේජ් එකක් යවනකොට ඒ මැසේජ් එකත් Encrypt වෙනවා, ඒ වගේම ඒ මැසේජ් එකේ කන්ටෙන්ට් එකට අදාළව Hash එකක් generate වෙලා ඒකත් Encrypt වෙනවා. ඒ Encrypted Hash එක අර මැසේජ් එකත් එක්කම ඇමිණිලා යනවා.

අර මම යැව්ව මැසේජ් එක පියුමිට ලැබුණාම, පියුමිගෙ ෆෝන් එකේ WhatsApp ඇප් එකෙන් අර මම එව්ව Encrypted මැසේජ් එක වගේම එවපු Encrypted Hash එකත් Decrypt කරනවා.

ඊට පස්සෙ පියුමිගේ WhatsApp App එකෙන් මම යැව්ව අමු මැසේජ් එක අරගෙන ආයෙමත් ඒකට Hash එකක් generate කරනවා.

ඊට පස්සෙ පියුමිගෙ WhatsApp App එක බලනවා මම මගේ App එකෙන් generate කරලා යැව්ව Hash එකත්, පියුමිගෙ App එකෙන් generate කරපු Hash එකත් 100% ක්ම ගැලපෙනවද කියලා. ඊට පස්සේ තමයි ඒ මැසේජ් එක පියුමිට පෙන්නන්නේ.

අන්න එතකොට තමයි ආරක්ෂිත පණිවුඩ හුවමාරුවක් වුණා කියලා කියන්නෙ. ඇත්තටම මේ කාරිය මීට වඩා සංකීර්ණයි, දැන් හිතාගන්න පුළුවන් නේද ඔයා යවන මැසේජ් එකක් ගානේ WhatsApp ඇප් එක කොච්චර දුකක් විඳිනවද කියලා? ආන්න ඒ නිසා ඔයාලා අර අර ඔයාලා දන්න පියුමි වගේ වෙන්න එපා, කොල්ලෝ ගොඩකට මැසේජ් කරන්න ගත්තම WhatsApp එකට තවත් අමාරුයි නේ ඉතින් නේද? පව් නේහ්??

ඔන්න, දැන් වැටහීමක් ඇති Hash එකක් භාවිතයෙන් මැසේජ් එකක් යන අතරමඟදී කිසිම වෙනසක් නොවී අදාළ කෙනාට නිවැරදිම මැසේජ් එක ලැබීම ගැන තහවුරු කරගන්නා ආකාරය ගැන.

ඒ වගේම, මම මුලින්ම කිව්වා වගේ ඔයා බාගත කරන OS එකක් වගේ sensitive ෆයිල් එකක් නිසි ආකාරව ඔයාගෙ Device එකට කොපි වුණාද කියලත් මේ Hash එක මාර්ගයෙන් බලාගන්න පුළුවන්. ගොඩක් OS නිපදවන Software Companies වලින් ඔයා බාගත කරගන්න උත්සාහ කරන OS එකේ iso එකේ Hash එකක් ලබාගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට iso එක ඩවුන්ලෝඩ් කරන තැනම පොඩියට දාලා තියෙනවා. ඔයාට පුළුවන් අදාළ ෆයිල් එක බාගත කරගත්තට පස්සේ අපි අර බලපු විදියට හරි වෙන ක්‍රමයකින් හරි ඒ ෆයිල් එකට අදාල Hash එක generate කරලා, අර සමාගමෙන් දුන්න Hash එකත් එක්ක සසඳලා බලන්න. Hash දෙකම ගැලපෙනවා නම්, සමානයි නම් ඔන්න කිසි අවුලක් නෑ ඔයාගෙ ෆයිල් එක ගානට ඩවුන්ලෝඩ් වෙලා.

***

එහෙනම් දීර්ඝ පෝස්ට් එකක අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. මම ගොඩක් උත්සාහ කළා ඔයාලට මේ සංකීර්ණ දේවල් සරලව කියලාදෙන්න. මේ ඇත්තටම මේකෙ මතුපිටින් යන කරුණු විතරයි. මම හැමදාම කියනවා වගේ, මේ තල්ලුව අරගෙන ඉදිරියට යන්නයි ඕන. මේ ඉගෙනගත්ත දේවල් ඔයාගෙ ගමනේ ආරම්භය කරගන්න.

එහෙනම් අපි ආයෙ මුණගැහෙමු Encryption, Cryptography ගැන ඊළඟ පෝස්ට් එකෙන්. මේ ඒ ගැන පෝස්ට් පෙළක ආරම්භය විතරයි. ඊළඟ පෝස්ට් වලින් Symmetric methods, Asymmetric Methods වගේම තවත් බොහෝ දෑ ගැන අපි ඉගෙනගනිමු. ගිහින් එන්නම්, ඔබට ජය!
Share:

0 comments:

Post a Comment

Search This Blog

Follow by Email

Blog Archive