Thursday, July 19, 2018

මොනාද මේ 32bit සහ 64bit කියන්නෙ?

අද උත්සාහ කරන්නේ අපි හැමෝම දන්නවා වගේ ඉන්න, ඒත් නොදන්න දෙයක් ගැන කියලා දෙන්න. එහනම්... පටාන් ගමු. 

බිට් එකක් කියන්නෙ මොකක්ද?

මේ පෝස්ට් එකේ මුල් ටිකට ගණිත දැණුම අවශ්‍යයි. ගණිතය වහ කදුරු වගේ අය මේ ටික මඟහැරලා අර රතු පාට අකුරු ගාවට යන්න.
මනුශ්‍යයන් වුණ අපි ගණන් හදනකොට එක එක ඉලක්කම් භාවිතා කරාට කම්පියුටර්, ෆෝන් වගේ සියළුම ඩිජිටල් උපකරණ ගණනය කිරීම් වලට භාවිතා කරන්නේ 1 සහ 0 කියන ඉලක්කම් දෙක. මේ ඉලක්කම් දෙකින් කුමක් හෝ  එකක් එක බිට්ටුවක් (Single bit) ලෙස සැලකෙනවා.

bit 32 සහ bit 64 හැදෙන්නෙ කොහොමද?

 

ඒ කියන්නේ, බොහොම සරලව එක බිට්ටුවකට අගයන් දෙකක් තියෙන්න පුළුවන්. එක්කෝ 1 නැත්නම් 0 වශයෙන්. එතකොට, එපි ඒකට කියනවා Single Bit (1-bit) Computing කියලා. අපි හිතමු එතකොට, බිට්ටු දෙකක් සහිත, ඒ කිව්වේ 2-bit computing වල මේ අගයන් හතරකුත්, 3-bit computing වල මේ වෙනස් වන 0 හෝ 1 වශයෙන් අටකුත් වශයෙන් අගයන් ලබාගන්න පුලුවන්.

මෙන්න මේ අගයන් යන්නේ දෙකේ බලයන් විදියට බව පහත රූපය අධ්‍යනය කරලා ඔයාට වටහාගන්න පුළුවන් වේවි.
ඉහත රූපයේ දෙකේ පළමු බලය කියන එක සමාන වෙන්නේ 1-bit කියන යෙදුමටයි. එතනදි ගබඩා වෙන්නේ එක්කෝ ඕෆ් එක්කෝ ඔන් කියන විධාන දෙකෙන් එකක් විතරයි. එහෙම නැත්නම් මේ ද්වීමේය සංඛ්‍යා දහයේ පාදයට හැරෙව්වොත් අංක 1 සහ 0 දෙකෙන් කුමක් හෝ එකක් තනි බිට්ටුවකින් නිරූපනය කරන්න පුළුවන්.

ඒ වගේම ඉහත රූපයේ දෙකේ දෙවැනි බලය සැලකුවොත්  එයින් අවථා හතරක්, එහෙමත් නැත්නම් ඉලකම් හතරක් ගැන කියවෙන බව පෙනේවි.

01 යන්නෙන් දහයේ පාදයේ 1 ත්, 00 යන්නෙන් දහයේ පාදයේ 0 ත්, 11 යන්නෙන් දහයේ පාදයේ 3 අගයත්, සහ 10 යන්නෙන් දහයේ පාදයේ 2ත් නිරූපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ, 0,1,2,3 යන ඉලක්කම් හතරම බිට්ටු දෙකකින්, එහෙමත් නැතිනම් 2-bit බ්ලොක් එකකින් ලබාදෙන්න පුළුවන්.

ඔයාලා ගණන් හදලා බලන්න, 3-bit බ්ලොක් එකකින් එහෙමත් නැතිනම් බිට්ටු 3 කින් ඉලක්කම් 8ක් හෝ අවස්ථා 8ක් නිරූපණය කල හැකි බව පෙනේවි. මේ අගය දෙකේ පාදයේ බලයන් වලින් පහසුවෙන් ගණනය කරගන්නත් හැකි බව පෙනේවි.

එතකොට ඉහත ආකාරයටම බිට්ටු 4කින් (4-bit, එනම් 24 = 16) අවස්ථා 16ක් හෝ සංඛ්‍යා 16ක් නිරූපණය කළ හැකි බවත් ඔයාට ගණන් හදාගන්න පුළුවන්.

එතකොට, ඒ ආකාරයෙන්ම,

32 bit කියන්නේ 232 = 4,294,967,296 (4 Gigabytes) කියන අති විශාල සංඛ්‍යා ප්‍රමාණයක් හෝ අවස්ථා ප්‍රමාණයක් ගබඩා කළ හැකි block එකක් බවත්, 64 bit කියන්නේ 264 = 18,446,744,073,709,551,616 (16.8 million Terabytes) කියන අතිශය විශාල (තඩි, දඩාර හෝ ඔබ කැමති යෙදුමක්) සංඛ්‍යා ප්‍රමාණයක් හෝ අවස්ථා ප්‍රමාණයක් ගබඩා කළ හැකි block එකක් බවත්

ඔබට පෙනේවි.

දැන් ඔයාලට තේරෙනවා ඇති, ප්‍රොසෙසර් එකක් හෝ වේවා කිසියම් චිප් එකක 32-bit සහ 64-bit කියන දෙක අතර වෙනස අහසට පොළොව වගේ එකක් බව. Computing power එකේ කොච්චර නම් වෙනසක් තියෙනවද කියන එක. ඇත්තටම 32 bit කියන එකේ දෙගුනය නෙවෙයි 64 bit කියන්නෙ, ඊට වඩා සෑහෙන්න විශාල ප්‍රමාණයක් බව ඔයාට දැන් පෙනේවි.

32-bit Processor එකක් යනු...


1990 ගණන් වෙනකන්ම ලෝකේ නිපදවුණේ 32-bit වර්ගයේ processors තමයි. මේ processors වල Datapath වල පළල, integer size එක සහ Memory address වල පළල බිට් 32ක් පමණ වෙනවා*. ඔයාලා දන්න Intel Pentium වර්ගයේ processors, 32-bit processors වලට හොඳ උදාහරණ සපයනවා. ඒ වගේම Windows 95, 98, and XP යන Windows මෙහෙයුම් පද්ධති අර කිව්ව වර්ගයේ 32-bit processors වලට ගැලපෙන්න හැදුව 32-bit Operating Systems වලට උදාහරණ වෙනවා.

32-bit OS එකක් සහය දක්වන්නේ 4GB රැම් එකකට පමණයි. ඊට වඩා RAM ධාරිතාවයකට සහය දෙන්න 32-bit OS එකකට බැහැ. ඒ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන් අර තද රතු අකුරු වලින් ලියලා තියෙන එක ආයෙත් කියෙව්වොත්.

(* අර රතු පාටින් ලියවුණු කොටස මෙහෙම පැහැදිලි කරන්නම් පහසු වෙන්න. 32-bit size integer එකක් කියන්නෙ 0 ඉඳන් 4,294,967,295 දක්වා අගයක්. මොකක් හරි ගණනය කිරීමකදි මේ අගය ඉක්මවා ගියොත් වෙන්නේ integer overflow කියන සංසිද්ධිය. ඒකෙදි වෙන දේවල් මේක අස්සේ ගහලා මේ පෝස්ට් එක තවත් දික් නොකර ඉමු.)

64-bit Processor එකක් යනු...


1961 වගේ ඉඳන්ම 64-bit processors ගැන කතාබහක් තිබුණට 64-bit processors සාමාන්‍ය භාවිතයට එන්න ගත්තේ 2000 දී Microsoft සමාගම Windows XP වල 64-bit සංස්කරණයක් ඉදිරිපත් කිරීමත් එක්කයි. මේකේ වෙනස කලින් වගේම Datapath වල පළල, integer size එක සහ Memory address වල පළල බිට් 64ක් පමණ වීම තමයි.

64-bit OS එකකට පුළුවන් න්‍යායිකව Exabytes 16  ක රැම් ධාරිතාවක් හසුරුවන්න. (1 Exabytes = 1073741708.03 Gigabytes. ඇඬෙනවනේ?) ඒත් දෙයියන්ගෙ නාමෙට එච්චර RAM තොගයක් කොහෙ ගොඩගහන්නද නේද? කියන්න බෑ අනාගතේ ඒ සයිස් RAM ඒවි ඉතින්.

Athlon 64 කියන AMD ප්‍රොසෙසර් එක තමයි සාමාන්‍ය පාරිභෝගිකයන් අතර සාර්ථක වුණ පළමු 64-bit ප්‍රොසෙසර් එක. (2003 සැප්තැම්බර් වල) ඒ වගේම  Gallatin (Extreme Edition) කියන Intel Pentium 4 ප්‍රොසෙසර් එකත්-64 bit ප්‍රොසෙසර් එකක් වශයෙන් එළිදැක්වුණා. 

***

32-bit Processor එකක් සහිත පරිගණකයක හෝ කිසියම් උපාංගයක 64-bit Operating System එකක් ස්ථාපනය කළ නොහැක. එමෙන්ම 64-bit ප්‍රොසෙසරයක් සහිත උපාංගයකට 32-bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කළ හැකි වුවත් එම ප්‍රොසෙසරයේ සම්පූර්ණ කාර්යක්ෂමතාව ලබාගත නොහැක.

එතකොට මොකක්ද x64 හෝ x86 කියන්නේ?


අපි මුලින්ම කතා කළොත් ඇයි 32-bit වලට x86 කියන්නෙ කියලා, ඒක මෙහෙමයි. Windows Vista කියන Microsoft මෙහෙයුම් පද්ධතිය ආවෙ ඔය 32-bit වල ඉඳන් 64-bit වලට හැමෝම මාරුවෙන්න ගත්ත කාලෙ. Microsoft සමාගම Windows Vista 64-bit සංස්කරණයේ ඉඳන් අපි ඒකට ඉන්ස්ටෝල් කරන 32-bit software වල දත්ත තැම්පත් කරන්න හැදුව ෆෝල්ඩර් එකේ නම වුණේ "Program Files (x86)" කියන එක. 

ඇත්තටම එතන x86 කියන්නෙ ඉන්ටෙල් සමාගමින් නිෂ්පාදනය කරපු ප්‍රොසසර් එකක නමක්. ඒක තමයි Intel 8086. ඒ සීරීස් එකේ ආව සාර්ථක processors තමයි Intel 80186, 80286, 80386 සහ 80486 කියන්නේ. මෙන්න මේ ඔක්කොම අවසන් වෙන්නේ 86 න් නිසා ඒ Processor Architecture එකට x86 කියන නම ඉබේම පටබැඳුණා. අදටත් 32-bit චිප්ස් අන්න ඒ නමින් හඳුනවන්නේ අන්න ඒ හේතුව නිසා.

ඒ ස්ටයිල් එකටම යමින් තමයි 64-bit ප්‍රොසෙසර් වලටත් x64 කියන නම වැටුනේ. ඇත්තටම ඒක තේරුමක් ඇතුව වැටුණු නමක් නෙවෙයි.

ඔයාගේ PC එක 32-bit ද 64-bit ද?

ඔයා පාවිච්චි කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියක් නම්, My Computer අයිකන් එක උඩ Right Click කරලා Properties ගියාම බලාගන්න පුළුවන් ලේසියෙන්ම ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය 64 බිට් ද 32 බිට් ද කියලා.

ඔහොම බලද්දි ඔයා දැක්කොත් ඔයාගෙ OS එක 32-bit කියලා, ඔන්න එතකොට අපි තව පරීක්ෂණයක් කරන්න යන්න ඕන. මොකද, අපේ සමහර Computer Shop වල ඉන්න අයියලා, දන්නවා වැඩි නිසා 64-bit ප්‍රොසෙසර් තියෙන PC / Laptop වලටත් දෙයියනේ කියලා 32-bit OS එකක් පතබාලා දානවා. එහෙම වුණාම ඔයාට ඕකෙ 64-bit software දාන්නත් බෑ, performance එකත් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්.

අන්න ඒ නිසා මෙන්න මේ Software එක දාගෙන බලන්න ඔයාගෙ processor එක ගැන විස්තරේ.


ඔයාගෙ Processor එක 64-bit එකක් කියලා මේකෙන් පෙන්නුවොත්, වඩා හොඳයි ඔය OS එක wipe කරලා, අලුතින්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්න එක.

ඔයා පාවිච්චි කරන්නෙ Ubuntu / Linux Minit / Elementary OS වගේ Linux Based මෙහෙයුම් පද්ධතියක් නම් uname -a කියන කමාන්ඩ් එක Terminal එකේ රන් කරලා ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ Processor Architecture එක. ඒකෙන් එන අවුට්පුට් එකේ අන්තිම හරියේ x86_64 කියලා එනවා නම් ඔයාගෙ OS එක 64-bit තමයි. x86 කියලා විතරක් නම් එන්නෙ ඒක 32-bit. (OS එක 64-bit කියන්නෙ ඉතින් processor එක 64-bit වෙන්න එපැයි, මම මේක ගැන වැඩි විස්තර නම් කියන්න යන්නෑ මොකද Linux Based OS එකක් පාවිච්චි කරන එකෙක්ට මම හිතන්නෑ මේවා ඇන ඇන ක්‍යලා දෙන්න ඕන කියලා :P )

ඔයාගේ Smartphone එක 32-bit ද 64-bit ද?


64-bit processor එකක් සහිත, අපිට දැකගන්න පුළුවන් පළමු Smartphone එක වෙන්නේ Apple 5S කියන ෆෝන් එකයි. A7 චිප් එක තමයි, ඒ පළමු 64-bit Smartphone එකේ තිබුණේ. ඒ ෆෝන් එක Release වුණේ 2013, සැප්තැම්බර් වලදි.

පළමු 64-bit Android Smartphone එක වෙන්නේ අපි කවුරුත් දන්න HTC Desire 510 කියන Mid-Range ෆෝන් එක. බජට් ප්‍රයිස් එකක් එක්ක තමා ආවෙ. ඒ 2014, සැප්තැම්බර්.

ඔයා පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම් ඔයාට පහසුවෙන් පුළුවන් මෙන්න මේ මම පහතින් දෙන ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන, ඔයාගෙ ෆෝන් එක 32-bit ද 64-bit ද කියන එකත් ඇතුළුව, Phone එකේ ලොකු විස්තරයක් බලාගන්න.


 ***
එහෙනම් අදට නවතින්නම්, තවත් දිග පෝස්ට් එකක් වුණා මේක. මේ කන්ටෙන්ට් එකේ මොකක් හරි වැරැද්දක් දක්කොත් මට වහාම දැනුම් දෙන්න, කමෙන්ට් කරන්න. මම ඉක්මනින් ඒක නිවැරදි කරන්නම්. ස්තුතියි! නැවතත් මුණගැහෙමු. ඔබට ජය!
Share:

0 comments:

Post a Comment

Search This Blog

Follow by Email

Blog Archive