Tuesday, July 31, 2018

Encryption ගැන සරලව සිංහලෙන් - 2 Symmetric Encryption Method



එහෙනම්, ඔන්න පොරොන්දු වූ පරිදි Encryption ගැන දෙවැනි පෝස්ට් එක. මේකෙ පළමුවෙනි කොටස හිතුවට වඩා කට්ටියක් කියවලා තිබුණා, මොහොම සන්තෝසයි. ඒක කියවන්නැතුව නම් මේක බලන්න එපා තනිකර නිකන් ග්‍රීක් වගේ තියෙයි, කියෙව්වෙ නැත්නම් මෙන්න ලිංක් එක, ගිහින් ඒක කියවලා ආපහු එනු මැන.

අපි පහුගිය ලිපියෙදි කථා කරපු ආකාරයට, Encryption ගැන කතා කරනකොට අපිට මුණගැහෙන ප්‍රධාන terms වෙන Hashing, Symmetric Method සහ Asymmetric Method කියන කාරණා තුන ආවරණය කරගෙන යන මේ ගමනේ, පලමු පියවර විදියට අපි Hashing ඉවර කළා. ඊළඟට අපිට තියෙන්නේ Symmetric සහ Asymmetric කියන Encryption ක්‍රම දෙකෙන් වඩා සරල එක වෙන Symmetric ක්‍රමය ගැන කථා කරන්නයි. එහෙනම්, අපි අද ඒ ගැන කතා කරමු.

ඒ වගේම කියන්න ඕන, අපි මේ Encryption ගැන කතා කරගෙන එන ලිපි පෙළ කියවපු කෙනෙක්ට දැන් මම හාවිතා කරන තාක්ෂණික පද ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට වැඩේ ලේසියි, අනික සතුටුයි, ඔයාලා දැන් කලින්ට වඩා යමක් මම නිසා ඉගෙනගෙන තිබීම ගැන. හරි එහෙනම් අපි පාඩමට යමු.

***

Symmetric Encryption Method 


මේ කතාව සරලයි, මම එදා කලින් දවසක ඔයාලට Encryption ගැන ටිකක් කියලා දෙන්න ඕන වෙලා අර VPN පෝස්ට් එකේ ගත්ත උදාහරණය, අන්න ඒක Symmetric Encryption වලට උදාහරණයක්.  

මම ඒක මෙතනට අරන් එන්නම් කොපි කරලා, එතකොට මේක ලේසියි.
ඔයයි ඔයාගෙ කෙල්ලටයි ඕන අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරන්න. හැබැයි අම්මා ඔය මැසේජ් කියෙව්වොත් ලෝක තොප්පියයි. ඉතින් ඔයා මොකක්ද කරන්නේ? ඔයයි ඔයාගෙ කෙල්ලයි කතා වෙනවා මෙන්න මෙහෙම හොර වැඩක් කරන්න. ඔයාලා දෙන්නා යවන මැසේජ් වලට පොඩි වෙනසක් කරන්න. ඔයාලා A අකුර වෙනුවට ගහන්නෙ B අකුර. B වෙනුවට ගහන්නෙ C අකුර, C වෙනුවට ගහ්න්නෙ D අකුර. හැම අකුරක් වෙනුවටම ඊට පස්සෙ තියෙන අකුර ගන්නවා. ඔන්න උදාහරණයක්.

Baba mama gedara awa. (Normal message)
Cbcb nbnb hfebsb bxb. (Encrypted message)

දැන් තේරෙනවද Encryption කියන වැඩේ බරපතළකම? එක අකුරක් එහෙ මෙහෙ කරාම එන ප්‍රතිඵලය තනිකර අණ්ඩර දෙමළයක් නෙ.

මෙහෙමයි දැන් ඕක, කොල්ලා කෙල්ලට මැසේජ් එක යවනවා කියලා හිතමු. කොල්ලා කරන්නෙ මැසේජ් එක Encrypt කරලා ඒක කෙල්ලට යවනවා. කෙල්ල දන්නවා Encrypted message එක කියවන විදිය. එයා ඒක Decrypt කරලා, ඒ කිව්වෙ තේරෙන විදියට හරවලා කියවනවා.  අම්මා ඕක කියෙව්වා කියලා වැඩක් තියෙනවද? අම්මට පේන්නෙ කිසි තේරුමක් නැති ඉංග්‍රීසි අකුරු ගොඩක් විතරයි.
ඔන්න ඕකටයි සරලවම අපි Symmetric Encryption Method එක නැත්නම් "සමමිතික ගුප්ත කේතන ක්‍රමය" කියලා කියන්නෙ. මේ සිංහල වචනෙ හොයා ගත්තෙ හරි අමාරුවෙන්. වචනෙ මොකක් වුණත්, මේ අන්න ඒක තමා.

මේ ක්‍රම වේදයේදී භාවිතා වෙන්නේ එකම එක key එකයි, අපේ උදාහරණයේ නම් ඒ key එක වෙන්නෙ එක අකුරක් ඉදිරියට යෑම. අන්න ඒකයි මේ Encrypted අකුරු ගොඩ එහෙමත් නැත්නම් Cipher text එක Decrypt කරගැනීමේ යතුර. මේ උදාහරණයේදී කොල්ලා කරන්නේ ඒ යතුර යොදාගෙන එයාගෙ Plain text එක Encrypt කරලා ඒක Cipher text එකාක් බවට පත් කරලා, ඒ Cipher Text එක කෙල්ලට යවලා, ඒක Decrypt කරලා කියවගන්න එයාගෙ යතුරත් කෙල්ලට පාස් කරන එක. හරි අපි මේක රූප සටහනකින් බලමු.


දැක්කනෙ, ඔතන Encryption එකටයි, Decryption එකටයි දෙකටම භාවිතා කළේ එකම යතුර. අන්න ඒකයි ඒ යතුර මම එකම පාටට, එකම හැඩේට දැම්මෙ. දැන් ඔය කාරිය අපි සරලව ඔහොම පැහැදිලි කරගත්තට, computer එකක හෝ මොනයම් හෝ උපාංගයක ඇත්තටම ඕක වෙනකොට ඒක සංකීර්ණ වැඩක් ඒ ඇයි කියලා මම පැහැදිලි කරන්නම්.

සැබෑ ක්‍රියාකාරීත්වය

ඇත්තටම මේවා පරිගණක වල භාවිතා වෙනකොට මේ Key එක මීට වඩා සෑහෙන්න ප්‍රභලයි. අපි කළේ හැම අකුරක්ම එකකින් ඉස්සරහට අරන් ගිය එකනෙ. ඒත් ඇත්තටම මේක වෙන්නෙ බොහොම සංකීර්ණ විදියකට. එහෙම හදාගන්න සංකීර්ණ ගණිතමය සූත්‍රයකට හෝ ක්‍රියා පිළිවෙලවල් ටිකකට අපි කියනවා ඇල්ගොරිතමයක් (Algorithm) කියලා.

ලෝකයේ පළමු වරට නිසි ආකාරව අර්ථදැක්වුණු සමමිතික ඇල්ගොරිතමය (Symmetric Algorithm) නිර්මාණය වුණේ ඇමරිකාවෙ. ඒක හැඳින්වුණේ DES කියන කෙටි නමින්. ඒකෙ දිග තේරුම තමයි Data Encryption Standard කියන එක (හරි ලේසියි නෙ :P ) මේ ක්‍රමය 1970 ගණන් වල භාවිතාවට නිර්දේශ වුණා.

මේ DES කියන ක්‍රමයෙදි භාවිතා වුණේ 56-bit key එකක්. 56-bit කියන්නෙ මොන වගේ එකක්ද කියලා දන්නෙ නැත්නම් ගිහින් බලන්න මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එක, ඒකෙ ඔය බිට් සීන් එක ගැන ඕනවටත් වඩා විස්තර කරලා තියෙනවා.

ඔයා දන්නවනම් මේ බිට් කතාව මොකක්ද කියලා, ඔයා දන්නවානෙ 56-bit කියන්නෙ 256 කියලා. ඒ කියන්නෙ 72,057,594,037,927,936 බව ඔයාට කැල් එකක් අරන් හදාගන්න පුළුවන්. ඒකෙ තේරුම තමයි, ඒ DES key එකකට අන්න ඒ තරම් possibilities තියෙනවා කියන එක. ඔයා හැකර් කෙනෙක් වෙලා ඔයාට කාගෙ හරි Encrypted Message එකක් හොරෙන් කියවන්න ඕන නම්, ඔයාට වෙනවා 72,057,594,037,927,936 වතාවක් විතර එක එක කෝඩ් ගහ ගහ බලන්න, හරි key එක ලැබෙනකන්. ඇත්තටම එහෙම ගහ ගහ බලන්න අවශ්‍ය නෑ ඒවට Software තියෙනවා, Software එකකට වුණත් අර වගේ key එකක් හොයාගන්න සෑහෙන කාලයක් යනවා. අපි මේ කතා කරන්නේ 1970 ගනන් ගැන නිසා ඇත්තටම ඒක මහම මහ විශාල කාලයක්. මොකද ඒ කාලෙ කම්පියුටර් ගොඩක් මන්දගාමි නිසා.

1970 ගණන් වලින් පස්සේ පරිගණක තාක්ෂණයේ සිදු වුණ විශාල දියුණුවත් එක්ක පරිගණක ඉතාමත් වේගවත් වුණා. කොච්චර වේගවත් වුණාද කිව්වොත් 56-bit කේතයකුත් සැලකිය යුතු තරම් අඩු කාලයකින් ක්‍රැක් කරගන්න පුළුවන් වුණා. (Possibilities හොය හොය ගිහින් වුණත්) එහෙම වුණාම ඉතින් ආයෙ හිතන්න දෙයක් නෑ නෙ. එතන Security Breach එකක්.

ඉතින් අන්න ඒ දුර්වල කම නිසා පසු කලෙක ආවා AES නැත්නම් Advanced Encryption Standard කියන ක්‍රමවේදය. ඒකෙදි භාවිතා වුණේ 128-bit, 192-bit, 256-bit වගේ බොහොම විශාල සයිස් එකේ Encryption Keys. මේකෙ කොච්චර Possibilities තියේද කියලා ඔයාලම ගණන් හදලා බලාගන්න. මම නම් හදන්න යන්නෑ. අරකට වඩා මේක සෑහෙන්න ආරක්ෂිත බව නම් ඔයාට බලාගන්න පුළුවන් වේවි. 

හැබැයි, ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි මේ තොරතුරු තාක්ෂණය, එහෙමත් නැත්නම් පරිගණක තාක්ෂණය කියන්නෙ සෑහෙන්න වේගෙන් දියුණු වීගෙන යන විෂයයක්. ඉතින් කාලෙකට පස්සෙ මේ Symmetric Method එකෙත් ආරක්ෂාව දුර්වල බව කට්ටියට තේරුණා. ඉතින් ඒ දුර්වල කම මැඩලන්න තමයි Asymmetric Method එක ආවේ. 

***

අපේ Encryption ගැන පාඩම් මාලාවේ අපි ඊළඟට කතා වෙන්නේ, මේ වඩා හොඳ සහ වඩා සංකීර්ණ Asymmetric Encryption Method එක ගැන. හොඳයි, එහෙනම්. අදට මෙපමණයි. ඊළඟ පෝස්ට් එකෙන් මුණ ගැහෙමු. ඔබට ජය!

Share:

Sunday, July 29, 2018

පහසුවෙන් YouTube Video ඩවුන්ලෝඩ් කරමු.

හොඳයි, කට්ටිය බලනවා නම් කෝ අර Encryption Part 2 කියලා, ඒකට තව ටිකක් ඉවසන්න. මම ඒක අනිවාර්යෙන්ම පසුව continue කරනවා. එතෙක් අපි වෙන දෙයක් ගැන බලමු.

***
 
මම මෙතෙක් YouTube විඩියෝ ඩවුන්ලෝඩ් කරන විදිය ලිව්වේ නැත්තේ මේ ගැන ගොඩක් අය දැණුවත් කියලා හිතාගෙන. ඒත් කට්ටිය නිතර අහන ප්‍රශ්ණ වල තවමත් මේ ගැන තියෙන නිසා මං හිතුවා මේ ගැන පෝස්ට් එකක් ලියලා දාන්න. මොකද ඊට පස්සෙ කවුරු හරි මේ ගැන ඇහුවොත් මට මේ පෝස්ට් එකේ ලිංක් එකක් යවලා නිදහස් වෙන්න පුළුවන් නේ. 

ඔක්කොටම කලින් බලමුකෝ ඇයි ඔයා YouTube video එකක් ඩවුන්ලෝඩ් කරගෙන්නේ කියලා. එක්කෝ ඔයා එහෙම ඩවුන්ලෝඩ් කරගන්නවා ඇත්තේ ඔයාට තියෙන ස්ලෝ කනෙක්ෂන් එක නිසා. වීඩියෝ එක ස්ට්‍රීම් වෙනකොට මැදෙන් බෆර් වෙවී ප්ලේ වෙන නිසා. එහෙමත් නැත්නම් ඔයාට අන්තර්ජාල පහසුව නැති නිසා, කැම්පස් එකෙන් හරි වැඩ කරන තැන නෙට්වර්ක් එකෙන් හරි ඔයාට ඕන වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරන් ගෙදර ගිහින් බලන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, නිකන් බොරුවට YouTube Video ඩවුන්ලෝඩ් කරලා නම් තේරුමක් නෑ, නිකන් වැඩ වැඩි වීමක් විතරයි. අනික YouTube video ඩවුන්ලෝඩ් කරලා ආයෙ කොහෙට හරි තමන්ගේ වගේ අප්ලෝඩ් කරගන්න බූරු වැඩ වලට නම් මම මේ කියලා දෙන ක්‍රම භාවිතා කරන්න එපා. එතකොට ඒ පාපකරුමෙට මටත් කරගහන්න වෙනවා.  

***

 කියන්නම ඕන දෙයක් තමයි, YouTube Video Download කරන්න ක්‍රම ඕන තරම් තියෙනවා. IDM එකෙන්, Android Apps වලින්, අනන් මනන් ක්‍රම මහා ගොඩක්. මම කියන්න යන්නෙ එයින් වඩාත් පහසුම, සහ මම භාවිතා කරන ක්‍රම දෙකක් ගැන විතරයි.

හරි, එහෙනම් අපි බලමු YouTube Video ඩවුන්ලෝඩ් කරන්න පහසුම ක්‍රම දෙක මොනවාද කියලා.

1) http://convert2mp3.net


YouTube Video එකක් ඩවුන්ලෝඩ් කරන්න මම භාවිතා කරන එක ක්‍රමයක් තමයි මේ. මේ සයිට් එකේ URL එක දකින ගොඩක් අය හිතන්නේ මේකෙන් පුළුවන් YouTube Video එකක් Mp3 කරන්න විතරයි කියලා. ඇත්තටම ඒක සම්පූර්ණයෙන් වැරදී. මේ සයිට් එකෙන් ඔයාට YouTube වීඩියෝ එකක් විවිධ File Formats වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

මේ සයිට් එක ජර්මන් භාෂාවෙන් (Deutsch) තමයි තියෙන්නේ. ඒක ඉංග්‍රීසියෙන් බලාගන්න ඕන නම්, මම පහළින් දෙන ලිංක් එකෙන් යන්න, එක්කෝ ඔයා ඒ සයිට් එකේ URL එක අගට /en කියලා දාගන්න, එහෙමත් නැත්නම්, ඒ සයිට් එකේ Language Settings වලින් භාෂාව තෝරගන්න. 


ඔයාට පුළුවන් මේ සයිට් එක ආධාරයෙන් YouTube සයිට් එකට වත් නොයා, මේ සයිට් එකේම ඉඳන් අදාළ වීඩියෝ එක Search කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙන් YouTube විතරක් නෙවෙයි, Dailymotion, Clipfish වගේ වඩවි වල තියෙන විඩියෝ වුණත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

Search කරලා ඩවුන්ලෝඩ් කරනවා වගේම මේ සයිට් එකෙන් YouTube වීඩියෝ එකේ URL එක කොපි පේස්ට් කරලත් අදාළ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඕනම YouTube Video එකකට ඒකටම අනන්‍ය වුණ URL එකක් තියෙනවා. ඒක ලබාගන්න නම් මෙන්න මේ විදියට ඔයාට ඕන වීඩියෝ එක ප්ලේ වෙන අතරේ Address Bar එකට ගිහින් බලන්න ඕන.


ඔයාට පුළුවන් අන්න එතනින් ඔයාට ඕන වීඩියෝ එකේ URL එක කොපි කරගන්න. ඊට පස්සේ convert2mp3.net සයිට් එකට ගිහිල්ලා එතනට පේස්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඊට පස්සේ, ඔයාට තියෙනවා වැදගත් වැඩක් කරන්න. ඔයාට ඕන මේ විඩියෝ එකේ Video පිටපත නම්, මෙන්න මේ මෙනු එකට ගිහිල්ලා Video කියන කොටස යටතේ තියෙන ඔයාට අවශ්‍ය කරන ෆයිල් ෆෝමැට් එක ලබාදෙන්න. දැන් ගොඩක්ම පාවිච්චි වෙන්නේ mp4 නිසා ඔයාට පුළුවන් ඒක ලබාදෙන්න. ඔයාට ඕන අදාළ විඩියෝ පිටපතේ ශබ්දය විතරක් නම් ඔයාට පුළුවන් mp3 කියන ඔප්ෂන් එක භාවිතා කරන්න. 

ඔයා ඔයාට ඕන වීඩියෝ පිටපතක් බව දන්වලා mp4 වගේ ෆෝමැට් එකක් තේරුවොත්, ඊළඟට ඔයාට පුළුවන් ඔයාට ඕන වීඩියෝ එකේ කොලිටි එක කොහොමද තියෙන්න ඕන කියලා තෝරන්න. 


ඔයාට ඕන සාමාන්‍ය කොලිටි එකක පිටපතක් නම් 720p කියන කොලිටි එක අවුලක් නෑ. වඩා හොඳ කොලිටි එකක් ඕන නම් 1080p කියන එක තෝරන්න පුළුවන්. හැබැයි, දැනගන්න ඕන කාරණාව තමයි, කොලිටිය වැඩි වෙන තරමට ඔයා ඩවුන්ලෝඩ් කරන්න යන ෆයිල් එකේ ප්‍රමානය (size එක) විශාල වෙනවා.

එච්චර තමයි ඉතින් ඔය සයිට් එකේ ටිකක් අවධානය යොමු කරන්න තියෙන්නේ, අනික් දේවල් හරිම ලේසී. වීඩියෝ ෆෝමැට් එකයි, කොලිටි එකයි තෝරලා Convert කියන බට්න් එක ඔබන්න, ටික වෙලාවකින් ඔයාට පුළුවන් අදාල වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න.

2) saveform.net සහ save-video.com (URL Modification)

 saveform.net

මේ ගැනත් ගොඩක් අය දන්නවා, නොදන්න අය වෙනුවෙන් ඔන්න මේකත් ලියලා තියන්නම්, මේකෙදි කරන්නේ ඔයාට ඕන YouTube Video එකේ URL එක පොඩ්ඩක් Modify කිරීමක්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.

ඔයාට මම කලින් කිව්වානේ කොහොමද YouTube Video එකක URL එක ලබාගන්නේ කියලා, අන්න ඒ ආකාරය ඔයා යන්න ඕන අදාල වීඩියෝ එකේ URL එක ගාවට ගිහින් මෙන්න මේ විදියට ඒ URL එක මොඩිෆයි කරන්න. 


කලින් URL එක - https://www.youtube.com/watch?v=0QKZ4Ju-mbU
මොඩිෆයි කරපු URL එක - https://www.ssyoutube.com/watch?v=0QKZ4Ju-mbU

දැන් වෙනස පැහැදිලිව පේනවා ඇති, S අකුරු දෙකක් URL එකට එකතු වෙලා තියෙනවා, ඔය SS අකුරු දෙක තමන්ට ඕන තැනක ඔබන්න බෑ. දාන්න ඕන තැන මම පෙන්නලා තියෙනවා අර උඩ පිංතූරයේ වගේම මේ ලියලා තියෙන URL එකේ.  

ඊට පස්සේ හරි සරලයි, Enter ඔබලා හරි බට්න් එක ඔබලා හරි ඔයා Modify කරපු URL එකට යන්න එතකොට ලෝඩ් වෙන්නේ මෙන්න මේ වගේ සයිට් එකක්.

"සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය" කියන්නෙ මම ඩවුන්ලෝඩ් කරන්න යන වීඩියෝ එක, ඕක වෙනුවට ඔයාගෙ වීඩියෝ එකේ thumbnail එක ඇවිල්ලා තියේවි. දැන් වැඩේ පහසුයි, කලින් වගේම ඔයාට ඕන කොලිටි එක තෝරලා වීඩියෝ එක Download කරගන්න.

save-video.com
මේකත් අර වගේම වැඩක්, එකම වෙනස මේකේ SS වෙනුවට යොදන්න ඕන magic කියන වචනය. (ඇත්තටම මෙහෙම Keywords ගොඩක් තියෙනවා, මට පහසුවෙන් මතක හිටිය දෙක ගැන තමා මම මේ කියලා දුන්නේ.) පහළින් බලන්න ඒ වෙනස් කිරීම කරන්න ඕන කොහොමද කියලා.  

කලින් URL එක - https://www.youtube.com/watch?v=0QKZ4Ju-mbU
Modified URL එක - https://www.youmagictube.com/watch?v=0QKZ4Ju-mbU

කලින් වගේම මේ URL එකට ගියාමත් සයිට් එකක් එනවා මෙන්න මේ වගේ.  

මේකත් කලින් වගේමයි, මේ සයිට් එකෙනුත් පුළුවන් අදාළ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි එහෙනම් කතාව එච්චර තමයි.
සටහන :- මේ YouTube Downloading සයිට් දුවන්නේ Ads වලින් ගන්න ආදායමෙන්. ඉතින් Ads නම් ගොඩක්ම තියෙනවා. ඒකට විසඳුමක් විදියට පුළුවන් Ad-Blocker එකක් පාවිච්චි කරන්න. ඔයාගෙ Desktop Browser එකට ගැලපෙන හොඳම Ad-Blocker එකක් තමයි uBlock Origin කියන්නේ. ඒ ගැන මම Firefox Extensions ගැන ලිව්ව පෝස්ට් එකේ තියෙනවා, ඒක  මෙතනින් ගිහින් බලන්න. ඔයා ලොග් වෙලා ඉන්නේ ඔයාට ඇති තරම් ඉන්ටනෙට් ගන්න පුළුවන් ඩේටා නොමිලේ හරි ගොඩක් අඩු මුදලකට ලැබෙන තැනක නම්, Ad-Blocker පාවිච්චි නොකර ඒ සයිට් වලට පිවිසෙන්න, ඒක ඒ සයිට් කරගෙන යන අයට උදව්වක් වේවි.
එහෙනම්, අදට සමුගන්නම්, මම ගොඩක් උත්සහ දරනවා අඩුම ගානේ දවසක් හැර දවසක් හරි අනිවාර්‍යෙන්ම පෝස්ට් එකක් දාන්න. ඉතින් අනික් කාරනාව, මේ සයිට් එක හොඳයි නම්, යාළුවන්ටත් කියන්න, සයිට් එකේ පේජ් එකට ලයික් එකක් දාන්න, පෝස්ට් එකක් ෂෙයා කරන්න. එච්චර තමයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබට ජය!
Share:

Friday, July 27, 2018

Encryption ගැන සරලව සිංහලෙන් - 1 Hashing



මේ පෝස්ට් එක පටන්ගන්න කලින්, මම ඔයාලට මතක් කරන්න ඕන ඇයි මේ Encryption කියන වචනය අපේ බ්ලොග් එකේදි කතාවට ආවේ කියලා, ඒක ගැන අපි කතා වුනේ අපේ "මොනාද අර VPN?" පෝස්ට් එකේ. ඉතින් එතනදි මම පොඩි පැහැදිලි කිරිමක් කළා මොකක්ද මේ Encryption කියන්නේ කියලා. ඉතින් ඒක ආයෙ මම මෙතන කොපි පේස්ට් කරනවට වඩා හොඳයි ඔයා ගිහින් ඒ පෝස්ට් එක කියවනවා නම්.  මෙතනින් ගිහින් ඒ පෝස්ට් එක කියවලා එන්න. මම මේ උත්සාහ දරන්නේ කට්ටිය බය වෙන වචන වෙන Encryption, Cryptography කියන ඒවා වල තියෙන බය ගතිය යවලා ඒ වචන වලට ඔයාලගේ හිතෙත් ආසාවක් ඇති කරවන්නයි.

***
හොඳයි, එහෙනම් අපි දැන් දන්නවනෙ Encryption කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා. අපි අද ඒ ගැන තව ටිකක් දුරට වැඩියෙන් ඉගෙනගනිමු. 

Encryption ගැන කතා කරනකොට ඒකේ මුලටම කතා වෙන කොටස් තුනක් එනවා ඒවා තමයි...
  1. Hashing
  2. Symmetric Methods -  සමමිතික ක්‍රම
  3. Asymmetric Methods -  අසමමිතික ක්‍රම
අපි මේ එකින් එක ගැන, වෙන වෙනම අවධානය යොමු කරමු.

Hashing

ඇත්තටම, Hashing කියන්නෙ මොකක් හරි පණිවුඩයක් හෝ ගොණුවක් Encrypt කරන ක්‍රමයක් නෙවෙයි. හරි, අපි මේක එහෙනම් මොකක්ද කියලා උදාහරණයකින් පැහැදිලි කරගමු.

ඔයාලා දන්නවනේ අර කතාව, මරන්න එපා, නිදහස් කරන්න. කියන සීන් එක. දන්නැත්නම් ඔන්න අද දැනගන්න මම කතාව කියා දෙන්නම්,

ඉස්සර රජ කාලේ යම්කිසි වැරැද්දක් කළා කියලා සැක කරපු මනුස්සයෙක් මරණ දණ්ඩනය දෙන්න කියලා නියම වුණාලු. මරණ දණ්ඩන තීන්දුවත් දුන්නට පස්සේ ඒ මනුස්සයා මරන්න අරගෙන යන මොහොතේ ලැබුණ හදිසි තොරතුරක් මත රජතුමාට දැනගන්න ලැබුණලු අර ටිකකට කලින් තමන් මරණ දණ්ඩනයට නියම කළ මිනිහා ඇත්තටම අහිංසකයෙක් කියලා. ඉතින් රජතුමා කොළ කෑල්ලක් අරන් ලිව්වලු, "ඔය මනුස්සයා මරන්න එපා, නිදහස් කරන්න" කියලා. ඒ කොළය එක්තරා රාජ පුරුෂයෙකුට දීලා කිව්වලු "ඔන්න ඕක වධකයාට ගිහින් දෙන්න" කියලා. කරුමෙට මේ රාජපුරුෂයා අර මරන්න අරන් යන එකාගෙ තරහ කාරයෙක් ලු. මේ යකා අර රජා දුන්න මැසේජ් එක මොඩිෆයි කරාලු මෙන්න මෙහෙම. "ඔය මනුස්සයා මරන්න, එපා නිදහස් කරන්න" කියලා, කොමාවක් විතරක් වෙනස් කරාලු.  ඉතින් දැන් මැසේජ් එකේ තියෙන්නේ වෙනම තේරුමක්නෙ, අර මිනිහා මරපන්, නිදහස් කරන්න එපා කියලානෙ. ඒ මනුස්සයා ඉතින් අන්තිමේ වරදක් නොකරම ජීවිතයෙන් වන්දි ගෙවලා.

දැක්කනේ, මැසේජ් එකේ පොඩි වෙනස්කමක් නිසා වුණ දේ? අන්න ඒකයි Hashing කියන එක තියෙන්නේ. අපේ රජා හිටිය කලෙත් Encryption තිබුනා නම් ඔහොම දෙයක් වෙන්නෑ. Hashing වලින් කරන්නේ අර රාජ පුරුෂයා කළා වගේ කුප්ප වැඩ වෙන එක නවත්තන එක. ඒ කියන්නේ, අපි කාට හරි යවන මැසේජ් එක (අකුරු හෝ ඕනෑම ගොණුවක්) කිසිම වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම අදාළ මැසේජ් එක ලබාගන්න කෙනාට ලැබුනාද කියන එක 100% ක් නිවැරදිව පරීක්ෂා කිරීමක් තමයි Hashing වලින් වෙන්නේ.

මේක මැසේජ් එකක් විතරක් නෙවෙයි, උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා Windows 10 මෙහෙයුම් පද්ධතියේ .iso ඉමේජ් ෆයිල් එක ඉන්ටනෙට් එකෙන් බාගත කරගන්නවා කියලා. මොකක් හරි කනෙක්ෂන් එරර් එකක් හෝ යම්කිසි හේතුවක් නිසා මේ ඩවුන්ලෝඩ් වුණ ෆයිල් එක Corrupt වෙනවා. (හානි වෙනවා) ඒක Download Manager එකේ පෙන්නන්නේත් නැති වුණොත්, ඔයා හානි වුණ iso එකකින් Windows 10 ගහන්න ගිහින් ලොකු අමාරුවක වැටෙනවා. මේ වගේ අවස්ථාවක වුණත් මේ Hashing කියන එක ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාට පුළුවන් Hashing කියන ක්‍රමය භාවිතයෙන් ඔයාගෙ iso ෆයිල් එක නිසි ආකාරව බාගත වුණාද කියලා පරීක්ෂා කරගන්න. ඒ කොහොමද කියලත් ඉස්සරහට බලමු.

Hashing වලදී වෙන්නේ මොකක්ද?

ඔයා ගාව තියෙන්න යම්කිසි Text එකක් හෝ යම්කිසි File එකක් ගැන සලකා බැලීමෙන් ඒ Text එකට හෝ File එකේ අන්තර්ගතයට අදාළව, ගණිතමය ක්‍රමයකින්  ඉලක්කම් සහ අකුරු සහිත Text String එකක් Generate කිරීමක් තමයි Hashing වලදී වෙන්නේ.

මේ ගණිතමය ක්‍රමය අපි Hashing එක කරන විදිය අනුව වෙනස් වෙනවා. Hashing කිරීමෙන් අපි මේ ලබාගන්න Text String එකට අපි කියනවා Hash එක කියලා.  මේ විදියට Hash එකක් ලබාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. MD-5, SHA-1 සහ SHA-256 කියන්නෙ අන්න ඒ වගේ ගණිතමය ක්‍රම (ඇල්ගොරිදම්) වල නිතර භාවිතා වන උදාහරණ කීපයක්.

Hash එකක් generate කරලා බලමුද?

ඔයා ආස නම් ඔයා ගාව තියෙන ඕනම ෆයිල් එකක MD-5 Hash එක මොකක්ද බලන්න, මෙන්න මේ විදියට ඒක කරන්න පුළුවන්.

Windows 10

වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ වින්ඩෝස් නිසාත් මම පාවිච්චි කරන්නම අකමැතිම වින්ඩෝස් නිසාත් ඒක ඔන්න මුලින්ම බලමු. ඔන්න පුතේ අපි හැකර් ස්ටයිල් එකට යන්න හදන්නේ. ඕයේ හැකර් ස්ටයිලේ කියලා උඩ පනින්න ලෑස්ති වෙන්ඩ එපා මම විහිළුවක් කරේ. :P මොකද CMD එකේ කමාන්ඩ් එකක් ගැහුවම ඔයා හැකරෙක් වෙනවා නම් අපි ඔක්කොම හැකරෝ තමයි, හරි ඒවයින් වැඩක් නෑ, වැඩේට බහිමු.

මුලින්ම ඔයාගෙ කම්පියුටර් එකේ ඕනම තැනක, ඕනම ලොකේෂන් එකක හිස් ෆෝල්ඩර් එකක් හදලා මොකක් හරි ඔයා ආස ඕනම ෆයිල් එකක් දාගන්න. ඔයාට පුලුවන් ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් (අර Oppo එකෙන් බූතයා වගේ ගත්ත ෆොටෝවක් ඕකේ) හරි, සින්දුවක් හරි ඕනම බහුබූතයක් ඕකට දාගන්න. ටිකක් සයිස් එකෙන් අඩු ෆයිල් එකක් ගන්න මොකද MD5 එක ජෙනරේට් වෙන්න ටිකක් වෙලා යාවි.

මම නම් කළේ බොහොම අහිංසක විදියට Desktop එකේ හිස් ෆෝල්ඩර් එකක් හැදුවා, ඒක නම් කළා Hashing කියලා. ඒකෙ මම text ෆයිල් එකක් හැදුවා ඒකේ අනන් මනන් ටිකක් ටයිප් කරලා සේව් කළා TextFile.txt කියලා. ඔයාට මේ txt ගන්න කියලා නියමයක් නෑ, jpg, mp3, mp4, pdf, pptx අනන් මනන් ඕනම මගුලක් මේකට ඕකේ. (මේ images අපහැදිලි නම් ඒවා උඩ ක්ලික් කරන්න / Tap කරන්න. එතකොට ඒවා විශාලව බලාගන්න පුළුවන්.)


අන්න, දැක්කනෙ මගේ අහිංසක ෆයිල් එක? ඔන්න ඔහොමයි ඕක හදාගන්න ඕන.

ඊළඟට ඔයා Right Click කරන්න ඕන Task Bar එකේ අර වම් පැත්තේ කෙළවරේම තියෙන Windows icon එක උඩ  (ඉස්සර Start button එක තිබුණ තැන). එතකොට මෙන්න මේ වගේ මෙනු එකක් ඒවි.


අන්න එතනින් ඔයා තෝරන්න ඕන Run කියන අයිටම් එක. එතකොට ඔයාට දුවන්න හැකියාව ලැබෙනවා ෆ්ලෑෂ් වගේ. හා, එහෙම නෙවෙයි, ඒක එබුවම මෙන්න මේ වගේ සූටි වින්ඩෝ එකක් ඒවි.

ඔය සූටි Run Window එකේ ඔයා ටයිප් කරන්න cmd කියන අකුරු තුන, ඊළඟට ඔබන්න Enter key එක, නැත්නම් ක්ලික් කරන්න OK බට්න් එක.

එතකොට එනවා... Hacker Style වින්ඩෝ එක නෙවෙයි... එන්නේ Windows CMD නොහොත් Windows Command Prompt වින්ඩෝ එක.


ම්ම් දැක්කා නේද කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට අකුරු වල තියෙනෙ ලස්සන ඈ? :P හරි හරි ඊළඟ වැඩ ටික තියෙන්නේ ඕකේ තමයි.
(මේ වැඩේ මෙහෙම නොකර Windows PowerShell එකෙන් කරන්නත් පුළුවන්, ඊට වඩා පරණ CMD එක හොඳයි ඈ.)
හරි දැන් ඊළඟට කරන්න තියෙන්නේ Command Prompt එක භාවිතයෙන් අපි අර මුලින්ම හදාගත්ත ෆෝල්ඩර් එකට පිවිසීම. ඒක කරන්න අපිට උපකාරී වෙනවා cd නොහොත් Change Directory කමාන්ඩ් එක. දැන් කරන්න තියෙන්නේ මේකයි, Command Prompt එකේ ටයිප් කරන්න ඕන

cd<හිස්තැනක්>ඔයාගෙ_ෆෝල්ඩර්_ලොකේෂන්_එක

ඒක තේරුම්ගන්න මේ පහළ පින්තූරය බලන්නකො, මම ටයිප් කරලා තියෙන්නේ මගේ ෆෝල්ඩර් ලොකේෂන් එක. මේක ඔයාගෙ device එකේ මේකම වෙන්නෙ නෑ ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න ඔය ලොකේෂන් එක හොයාගනිද්දි. බය වෙන්නෙපා එහෙම වැරදුණා කියලා ඔයාගෙ මැෂින් එක පුපුරන්නෑ. :P


ෆෝල්ඩර් ලොකේෂන් එක හොයාගන්න පුළුවන් Windows Explorer එකෙන් ඒ ෆෝල්ඩර් එකට ගිහිල්ලා, Explorer වින්ඩෝ එකේ තියෙනෙ Address Bar එක උඩ ක්ලික් කරලා. ඔය ලොකේෂන් එක හොයාගන්න අමාරු නම් පොඩ්ඩක් Search එකක් දාලා බලන්න මේක බොහොම සරල වැඩක්. 

ඕක හරියට ටයිප් කරලා ඔබන්න Enter කී එක ඔයාගෙ කීබෝඩ් එකේ. එතකොට මෙන්න මේ වගේ ලයින් එකක් Command Prompt එකේ ඒවි.


හරි ඔන්න දැන් තමයි වැඩේ, මෙන්න මේ කමාන්ඩ් එක හරියටම නිවැරදිව Command Prompt එකේ ටයිප් කරන්න ඕන. නැත්නම් කොපි පේස්ට් හරි කරගන්න හැබැයි ඒක ඔයාගෙ ෆයිල් නේම් එකේ හැටියට වෙනස් කරගන්න වැඩේ අනාගන්නෙ නැතුව.

certutil -hashfile ඔයාගෙ_ෆයිල්_එකේ_නම_සහ_එක්ස්ටෙන්ෂන්_එක MD5

මෙන්න මගේ ෆයිල් එකේ නමට ගැලපෙන උදාහරණය. (දෙයියනේ කියලා මතක ඇතුව එක්ස්ටෙන්ෂන් එක නම් ටයිප් කරන්න.)

certutil -hashfile TestFile.txt MD5

ඔන්න පහළ පින්තූරයෙන් බලන්නකො මම ඒක ටයිප් කරලා තියෙන විදිය.


හරි, දැන් අමාරු කාරිය අහවරයි, ඔබන්න කීබෝඩ් එකේ Enter Key එක එතකොට මෙන්න මේ වගේ Output එකක් ඒවි. අන්න එතන තියෙනවා ඔයාගේ ෆයිල් එකට අදාළ MD-5 Hash එක. මට ආව Output එක මම පහළින් දානවා ඔන්න බලාගන්න.


ඒ Output එකේ විදියට, මගේ අහිංසක ෆයිල් එකේ MD-5 Hash එක තමයි,

2516df4cbe5cc804a2c37fcdf81b645c

ඔය හෑෂ් එක අනිවාර්යෙන්ම ඔයාගෙ ෆයිල් එකේ වෙනස් වෙන්න ඕන. ඔන්න එහෙනම් අපි MD5 Hash එකකුත් generate කළා නේද? හරි ඔන්න ඔහොමයි ඕක කරන්නෙ.

Linux Mint/Ubuntu/ElementaryOS

ඔන්න එහෙනම් මගේ කැමතිම OS සෙට් එකට ආවා. මේවා පාවිච්චි කරන අයට ඉතින් දෙයියනේ කියලා Command Line කියන්නෙ හරි සුපුරුදු දේවල්. මම මෙයාලා වෙනුවෙන් දාන්නේ එකම එක ScreenShot එකයි.

කරන්න තියෙන දේ බොහොම සරලයි. File Manager එකෙන් ඔයාට ඕන ෆයිල් එක තියෙන තැනට යන්න, Right Click කරන්න, ඒ ලොකේෂන් එකේ Terminal එක ගන්න, ගහන්න මෙන්න මේ කමාන්ඩ් එක.

md5sum ඔයාගේ_ෆයිල්_එකේ_නම_එක්ස්ටෙන්ෂන්_එක_සමඟ

මෙන්න මගේ උදාහරණය.

md5sum TestFile.txt

ඕක ගහලා Enter ඔබන්න සනිකව එයි Hash එක. මෙන්න මේ පහළ පින්තූරේ විදියට.

(රතු පාට පටි දෙක නොසලකාහරින්න :P)

ඔන්න ඒකෙනුත් ආවේ අර වින්ඩෝස් වලින් ආව Hash එකම තමයි.

2516df4cbe5cc804a2c37fcdf81b645c

Android

ඇන්ඩ්‍රොයිඩ් වලින් මේ වැඩේ කරන්නත් පුළුවන්, ඇත්තටම බොහොම පහසුවෙන් පුළුවන් ES File Explorer කියන App එකෙන්. ඔයා ගාව ඒ ඇප් එක නැත්නම් මෙතනින් බාගන්න.

ඒක ගොඩක් Android users ලා භාවිතා කරන ඇප් එකක් නිසා මම ඒකෙන් MD5 Hash එක නොහොත් Checksum එක බලාගන්න විදිය පෙන්නන්නම්. ඕන නම් මේ වැඩේ කරන්න පුළුවන්  Solid Explorer File Manager ඇප් එකෙනුත්.

මුලින්ම ඔයාට MD5 Hash එක හොයාගන්න ඕන ෆයිල් එක ES File Explorer ඇප් එකෙන් හොයාගන්න. මෙන්න මේ වගේ. මම මේකට භාවිතා කළේ කලින් පාවිච්චි කරපු මගේ අහිංසක text ෆයිල් එකම තමයි.


ඊට පස්සෙ ඒ ෆයිල් එක උඩ ටිකක් වෙලා Touch කරගෙන ඉන්නකොට ඒ ෆයිල් එකට කොළපාටින් හරි සලකුණක් වැටෙයි, එතකොට පහළින්ම තියෙන Bar එකේ කෙළවර තිත් තිනක් සහිත බට්න් එක tap කරලා ඔයාට පුළුවන් මෙන්න මේ පහළ පිංතූරයේ තියෙන මෙනු එක ඕපන් කරගන්න.



අන්න එතනින් ඔයා තෝරන්න ඕන Properties කියන item එක. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වේවි.



එතන තියෙන Show Checksum කියන බට්න් එක ඔබලා ඔයාට පහසුවෙන් පුළුවන් ඔයාගෙ ෆයිල් එකේ MD5 Checksum එක නොහොත් Hash එක ගණනය කරලා ලබාගන්න. ඒ විතරක් නෙවෙයි, SHA-1 Hash එකත් ඔතනින්ම බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.


ඔයාට පුළුවන් අර කලින් කිව්ව විදියටම (කෝඩ් එකේ පුංචි වෙනසක් කරලා, MD5 වෙනුවට SHA1 හෝ අදාළ එක යොදලා) අනෙක් ඇල්ගොරිදම් ක්‍රම වල Hash එකත් ගනනය කරගන්න.

දැක්කනෙ, වැඩේ හරිම සරලයි. එහෙනම් අපේ Practical Session එක ඉවර කරලා ආයෙත් Theory පැත්තට යමු.

Hashing වල භාවිතය

Hashing කියන දේ භාවිතා වෙන්නේ මොන වගේ තැන් වලදීද කියන එක ගැන පොඩි අවබෝධයක් මම කලින් ඔයාලට දුන්නා නෙ, ඒ වගේම මේ Hashing කියන ක්‍රමවේදය භාවිතා වෙනවා Database එකක Key Values නිසි ආකාර පිළිවෙලකට ගබඩා කිරීමේදී. ඒ ලොකු කතා මේ පෝස්ට් එක අස්සේ රිංගවන්න අමාරුයි, ඒ නිසා බලමු මේ Hash එකක් ක්‍රියාත්මක වෙන ආකාරය.

Hash එකක් Encryption වලදී භාවිතා වෙන ආකාරය.

මේ ගැන අපි පැහැදිලි කරගමු, මම පියුමි හංසමාලිට (අරයා නෙවෙයි, මේ වෙන කෙනෙක්) යවන WhatsApp මැසේජ් එකක් සලකා බලලා. WhatsApp කියන්නේ End to End Encryption සහිත ආරක්ෂිත මැසේජ් යවන්න පුළුවන් ක්‍රමයක්, එහෙනම් ඔන්න මම පියුමිට මැසේජ් එකක් දානවා.

මම පියුමිට ආරක්ෂිත මැසේජ් එකක් යවනකොට ඒ මැසේජ් එකත් Encrypt වෙනවා, ඒ වගේම ඒ මැසේජ් එකේ කන්ටෙන්ට් එකට අදාළව Hash එකක් generate වෙලා ඒකත් Encrypt වෙනවා. ඒ Encrypted Hash එක අර මැසේජ් එකත් එක්කම ඇමිණිලා යනවා.

අර මම යැව්ව මැසේජ් එක පියුමිට ලැබුණාම, පියුමිගෙ ෆෝන් එකේ WhatsApp ඇප් එකෙන් අර මම එව්ව Encrypted මැසේජ් එක වගේම එවපු Encrypted Hash එකත් Decrypt කරනවා.

ඊට පස්සෙ පියුමිගේ WhatsApp App එකෙන් මම යැව්ව අමු මැසේජ් එක අරගෙන ආයෙමත් ඒකට Hash එකක් generate කරනවා.

ඊට පස්සෙ පියුමිගෙ WhatsApp App එක බලනවා මම මගේ App එකෙන් generate කරලා යැව්ව Hash එකත්, පියුමිගෙ App එකෙන් generate කරපු Hash එකත් 100% ක්ම ගැලපෙනවද කියලා. ඊට පස්සේ තමයි ඒ මැසේජ් එක පියුමිට පෙන්නන්නේ.

අන්න එතකොට තමයි ආරක්ෂිත පණිවුඩ හුවමාරුවක් වුණා කියලා කියන්නෙ. ඇත්තටම මේ කාරිය මීට වඩා සංකීර්ණයි, දැන් හිතාගන්න පුළුවන් නේද ඔයා යවන මැසේජ් එකක් ගානේ WhatsApp ඇප් එක කොච්චර දුකක් විඳිනවද කියලා? ආන්න ඒ නිසා ඔයාලා අර අර ඔයාලා දන්න පියුමි වගේ වෙන්න එපා, කොල්ලෝ ගොඩකට මැසේජ් කරන්න ගත්තම WhatsApp එකට තවත් අමාරුයි නේ ඉතින් නේද? පව් නේහ්??

ඔන්න, දැන් වැටහීමක් ඇති Hash එකක් භාවිතයෙන් මැසේජ් එකක් යන අතරමඟදී කිසිම වෙනසක් නොවී අදාළ කෙනාට නිවැරදිම මැසේජ් එක ලැබීම ගැන තහවුරු කරගන්නා ආකාරය ගැන.

ඒ වගේම, මම මුලින්ම කිව්වා වගේ ඔයා බාගත කරන OS එකක් වගේ sensitive ෆයිල් එකක් නිසි ආකාරව ඔයාගෙ Device එකට කොපි වුණාද කියලත් මේ Hash එක මාර්ගයෙන් බලාගන්න පුළුවන්. ගොඩක් OS නිපදවන Software Companies වලින් ඔයා බාගත කරගන්න උත්සාහ කරන OS එකේ iso එකේ Hash එකක් ලබාගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට iso එක ඩවුන්ලෝඩ් කරන තැනම පොඩියට දාලා තියෙනවා. ඔයාට පුළුවන් අදාළ ෆයිල් එක බාගත කරගත්තට පස්සේ අපි අර බලපු විදියට හරි වෙන ක්‍රමයකින් හරි ඒ ෆයිල් එකට අදාල Hash එක generate කරලා, අර සමාගමෙන් දුන්න Hash එකත් එක්ක සසඳලා බලන්න. Hash දෙකම ගැලපෙනවා නම්, සමානයි නම් ඔන්න කිසි අවුලක් නෑ ඔයාගෙ ෆයිල් එක ගානට ඩවුන්ලෝඩ් වෙලා.

***

එහෙනම් දීර්ඝ පෝස්ට් එකක අවසානය සනිටුහන් කරන්නයි යන්නේ. මම ගොඩක් උත්සාහ කළා ඔයාලට මේ සංකීර්ණ දේවල් සරලව කියලාදෙන්න. මේ ඇත්තටම මේකෙ මතුපිටින් යන කරුණු විතරයි. මම හැමදාම කියනවා වගේ, මේ තල්ලුව අරගෙන ඉදිරියට යන්නයි ඕන. මේ ඉගෙනගත්ත දේවල් ඔයාගෙ ගමනේ ආරම්භය කරගන්න.

එහෙනම් අපි ආයෙ මුණගැහෙමු Encryption, Cryptography ගැන ඊළඟ පෝස්ට් එකෙන්. මේ ඒ ගැන පෝස්ට් පෙළක ආරම්භය විතරයි. ඊළඟ පෝස්ට් වලින් Symmetric methods, Asymmetric Methods වගේම තවත් බොහෝ දෑ ගැන අපි ඉගෙනගනිමු. ගිහින් එන්නම්, ඔබට ජය!
Share:

Tuesday, July 24, 2018

නොමිලේ පාවිච්චි කරන්න, හොඳම VPN එක.


හොඳයි, ඔන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න යන්නේ. පසුගිය පෝස්ට් එකේ කිව්වා වගේ ඔන්න හොඳම VPN සේවාවක් නොමිලේ ලබාගන්න විදිය අරගෙනයි ආවේ. හැබැයි, ඊට කලින් ඔයාට මේ VPN සමාගමේ Email Account එකක් හදාගන්න වෙනවා . බය වෙන්න දෙයක් නෑ. අද ඉගෙනගන්න පුළුවන් ලෝකේ ආරක්ෂිතම ඊමේල් සේවාවක් ගැනත්, බෝනස් එකක් විදියට.

ProtonMail සේවාව.

ProtonMail කියන්නේ ස්විට්සර්ලන්ත සමාගමක්. Wall Street Journal, The New York Times, TheGuardian, Forbs වගේ ලෝකේ ඉතාමත් ජනප්‍රිය මාධ්‍ය ආයතන වල පැසසුමට ලක් වුණු සමාගමක්. ඒ වගේම මෙයාලගෙ ප්‍රොජෙක්ට් එක ඕපන් සෝස්. (කේත මහජනයාට නිදහස් කළ එකක්) End to End Encryption සහිත ඔයාලගෙ privacy එක ගැන උපරිමයෙන්ම හිතන ඊමේල් සේවාවක්. Google වලට වඩා ගොඩක් වැඩි ආරක්ෂාවක් ඔයාලගෙ Email වලට මේ සේවාවෙන් ලැබෙනවා. (Encryption ගැන මම ලියන්න හිතන් ඉන්න පෝස්ට් එකෙන් මේඑක ගැන කියලා දෙන්නම්.) ඒ වගේම, මෙයාලා කියන විදියට, යුරෝපයේ ආරක්ෂිතම සර්වර් පද්ධතිය තියෙන්නෙත් මෙයාලට.

එහෙනම් මෙන්න අඩවිය, ගිහින් පරෙස්සමට කියවලා බලන්න මම කියන දේවල් ඇත්තද කියලා. මේ සයිට් එකේ හෝම් පේජ් එකේ ඔක්කොම විස්තර ඇති. ඕන නම් ඉන්ටනෙට් එකේ සර්ච් කරලත් බලන්න.  


මේකෙ Account එකක් හදාගන්න එක ගොඩක් සරලයි, මම ස්ක්‍රීන්ෂොට්ස් ගහලා පැහැදිලි කරන්න යන්නෙ නැහැ. මේ සයිට් එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ Sign Up කියන බට්න් එක ඔබලා එතනින් Free Plan එක තෝරගන්න. Free කියලා තියෙන රිබන් එකේ දකුණු කෙළවරේ පහළට තියෙන ඊ හිස ඔබලා, Select Free Plan කියන බට්න් එකෙන් යන්න. එතනින් එහාට කිසි අවුලක් නෑ. ඔයාට කැමති නමකින් ඔයාගෙ අළුත් ProtonMail ඊමේල් එක හදාගන්න. පාස්වර්ඩ් එක ශක්තිමත් එකක් දෙන්න. (ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්න හැටි මම කලින් කියලා දුන්නා, මෙන්න මේ ලිංක් එකෙන් ගිහින් ඒක බලන්න. හැක් නොවෙන හැටි - 1) ඔයා නිවැරදිව අකවුන්ට් එක හැදුවා නම් ඔයාලට ටිකකින් දැකගන්න ලැබෙයි ඔයාගෙ ඊමේල් ඉන්බොක්ස් එක.

ඔතනින් ඔයා හදාගත්ත ඊමේල් අකවුන්ට් එකේ ඊමේල් ඇඩ්‍රස් එකයි, පාස්වර්ඩ් එකයි හොඳට මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ දෙක ඕන වෙනවා අපේ ප්‍රධානම අවශ්‍යතාවය වෙන VPN අවශ්‍යතාව සපුරාගන්න.

ProtonVPN සේවාව.


එහෙනම් කියන්න දෙයක් නැහැනෙ ProtonMail සමාගමේම කොටසක් තමයි ProtonVPN කියන්නෙ. ඔයාට පුළුවන් ඕන නම් මේ සේවාවේ වෙනම ලියාපදිංචි වෙන්න, ඒත් මම නම් කියන්නෙ ඔයා හදාගත්ත ProtonMail එක මේකට භාවිතා කරන එක වඩා හොඳයි. මෙන්න ProtonVPN සයිට් එක. ඔතනින් ඔයාට පුළුවන් ඔයාට ඕන Platform එකට අදාළ VPN Clent ඇප් එක බාගන්න.


ඔයාලට තවත් ලේසි වෙන්න මම මෙයාලගෙ ඇන්ඩ්‍රියිඩ් ඇප් එකයි වින්ඩෝස් (PC) ක්ලයන්ට් ඇප් එකයි බාගන්න ලිංක් වෙනම දෙන්නම්.

ProtonVPN for Android (Play Store)

ProtonVPN for Windows and other platforms.

දැන් මේකයි කරන්න තියෙන්නේ, ඔයා ඔය උඩ ලිංක් වලින් ගිහින් බාගෙන ඉන්ස්ටෝල් කරගත්ත ProtonVPN ඇප් එකට ලොග් වෙන්න ඕන ඔයා කලින් ProtonMail එකට ලබාදුන්න Username සහ පාස්වර්ඩ් එකෙන්.

උදාහරණයක් විදියට,

Username - kamal@protonmail.com
Password - YourProtonMailPassword

එච්චර තමා තියරිය. ඔයාලා පහුගිය කාලේ VPN ඇප් එකක් භාවිතා කරලා පළපුරුද්ද අනිවාර්යෙන්ම ඇති. ඔයාට දැන් දවස් 7ක Premium Free Trial එකක් ලැබිලා ඇති. ඒ දවස් හත ආතල් එකේම ඉන්න පුළුවන්. ඊට පස්සෙත් බය වෙන්න කාරියක් නෑ, USA වල සර්වර් දෙකකුත්, කැනඩාවේ සර්වර් දෙකකුත්, ජපානේ සර්වර් දෙකකුත් ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා.

මම දැනට මාස තුනක් විතර මේ සේවාව නොමිලේ භාවිතා කරනවා. Free දුන්නා කියලා මේකෙ කිසි ස්ලෝ ගතියක් මට දැනිලා නෑ. වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුළුවන් අවුලක් නැතුව. පොඩි හරි ස්ලෝ ගතියක් ආවොත් ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් ඔයාගෙ VPN server එක මාරු කරන්න. කොළ පාටින් දැක්වෙන server අනික් ඒවට වඩා වේගවත්. 

***

එහෙනම්, ඉතින් එච්චර තමා. ඕකයි කතාව. ඔයාලට VPN එකක් භාවිතා කරන්න අවශ්‍යතාවක් නෑ කියලා හිතෙනවද? එහෙනම් ඒකෙ ලොකු වැරැද්දක් තියෙනවා. ඔයා දන්නවද ලංකාවේ මිනිස්සු වැඩිපුරම පිවිසෙන සයිට් 50 අතර අසැබි සයිට් 7ක් විතරම තියෙනවා කියලා? මම නෙවෙයි කියන්නේ ඇලෙක්සා රෑංකින් වල තියෙන්නෙ. මම කියන්නෑ ඒවට යන්න එපා කියලා. VPN එකක් දාගෙන ගියා නම් ගැටළුව ඉවරයිනෙ. කිසි කෙනෙක් දැනගන්නෙ නැහැ ඔයා ගිය සයිට් එක ගැන. අනික ඔයා දන්නවනෙ දැන්, කලින් පෝස්ට් එකේ මම කිව්වා ඔයාගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එක කාණුවක් වගේ එකක් කියලා.

ඉතින් ඔයා ඔය හොරෙන් කියලා හිතන් කරන හොර වැඩ ISP බලන් ඉන්නවා. ඇයි ඉතින් අපේ පෞද්ගලිකත්වය කාටවත් ප්‍රදර්ශනය කරන්නෙ? අපෙ ගොඩක් කට්ටිය VPN පාවිච්චි කළේ Facebook බ්ලොක් එක කාලේ විතරයි. ඊට පස්සෙ ප්‍රශ්ණෙ විසඳුනා, ඇප් එක අයින් කළා. ඒත් මතක තියාගන්න, VPN ඇප් එක කියන්නෙ ඔයා කවදාවත් ඉවත් කරන්න ඕන එකක් නම් නෙවෙයි.

හොඳයි එහෙනම්, අදට මෙතනින් නවතින්නයි යන්නේ. ප්‍රශ්ණ තියෙනවා නම් කමෙන්ට් කරන්න, ඊමේල් කරන්න, ෆේස්බුක්, ට්විටර් වලින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මොකක් හරි ගැන දැනගන්න ඕන නම් අහන්න. පුළුවන් උපරිමයෙන් උපකාර කරන්නම්. ගිහින් එන්නම්. ඔබට ජය!
Share:

Monday, July 23, 2018

මොනාද අර VPN?

ලංකාවේ පහුගිය කාලේ ඉතා දරුණුවටම කතා බහ වුණ ඉංග්‍රීසි අකුරු තුන තමා VPN. සමහරු දැන හෝ නොදැන මේ VPN කියන අටමංගල්ලේ පාවිච්චි කරන්න ගත්තා. අපේ සමහර ෆෝන් හදන අයියලා VPN දාලා දීලා 250/- ක් විතර සල්ලිත් ගත්තලු. VPN දාගත්තම තහනම් කරපු සයිට් වලට යන්න පුළුවන් වුණාලු, සමහර VPN දෙන්නේ නොමිලේ ලු, සමහර ඒවා දෙන්නේ සල්ලි වලට ලු, නොමිලේ දෙන සමහර ඒවා අනතුරු දායක ලු. අපි හැමෝම මේවා ඔහේ කියෙව්වට තේරුමක් ඇතුව නෙවෙයිනේ කියවලා තියෙන්නේ. අද අපි යමු VPN දැනගන්න.

VPN කියන අකුරු තුනේ තේරුම මොකක්ද?

 
ඔක්කොටම කලින් අපි දැනගන්න එපාය මොකක්ද මේ VPN කියන අකුරු තුනෙන් කියවෙන්නේ කියලා. VPN කියන්නේ Virtual Private Network කියන එක. ඕක සිංහලයට දැම්මොත්, "අතථ්‍ය පෞද්ගලික ජාලය" කියන එක. මෙතන අතථ්‍ය කිව්වේ අතාත්වික, එහෙමත් නැත්නම් සැබෑ ලෙසම පවතින්නේ නැති, මනඃකල්පිත වගේ එකක්. ඇයි මේකට එහෙම කැත විදියට කතා කරන්නෙ. අපි බලමු ඇයි කියලා ඉදිරියේදී. 

ඔයාට අන්තර්ජාල සැපයුම ලැබෙන හැටි.

 
අපි ඒක පැහැදිලි කරගමු සරල උදාහරණයකින්

ඔයා දැන් උපකල්පනය කරන්න ඕන, ඔයාගෙ ගෙදරට වතුර එන වතුර ලයින් එකේ තියෙන්නෙ බට නෙවෙයි, ඇළමාර්ග කියලා. අපි ක්‍රිස්තු පූර්ව බර ගණන් වලට වගේ යමු. ඔන්න දැන් ඔයාලගෙ පාර දිගට තියෙන්නේ මහ විසාල ඇළ මාර්ගයක්. (බට ලයින් නැහැ) ඔයාලගෙ ගෙදරට වතුර සැපයුම ලබාගන්න තියෙන්නේ කාණුවක්. ඒ කාණුව හරහා වතුර ගලාගෙන ඇවිල්ලා ඔයාලගෙ ටැංකියකට පිරෙනවා, එතකොට පුළුවන් ඔයාලට ඒ වතුර පරිභෝජනයට ගන්න. හරිනෙ?

ඔයාලගෙ අල්ලපු ගෙවල් වල ඇන්ටිලාගෙ වැඩේ තමයි මේ ඔයාලගෙ කාණුව දිහා හොරෙන් බලන් ඉන්නෙක. ඒ විතරක් නම් මදෑ, වතුර දෙන ජල සම්පාදන එකේ එවුණුත් බලන් ඉන්නවා ඔයාලගෙ කාණුව දිහා. ඒ බලන් ඉන්න උන්ට පුළුවන්නේ, වතුර කොච්චර ගලනවද, අපි කොච්චර වතුර පාවිච්චි කරනවද, ගලන වතුර මොන පාටද, ඒ වතුර පාරේ සාරි ගප්පි ඉන්නවද, ක්ලෝරීන් සුවඳ එනවද? වගේ අටෝරාසියක් දේවල් අරුන්ට බලන් ඉන්න පුළුවන් නෙ. 

ඔයාලගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ දත්ත ගලා යාම හරියට මෙන්න මේ කාණු සීන් එක වගේ.  අන්තර්ජාලයේ ඉඳන් (ලෝකේ කොහේ හෝ තියෙන සර්වර් එකක ඉඳන්) දත්ත ඔයා ගාවට ගලාගෙන එන්නේ මේ ඇල මාර්ගයක් වගේ පාරක.  ඔයා ඉන්ටනෙට් එකේ කරන ගොඩක් දේවල් සමහර අය බලන් ඉන්නවා

ඉන් ප්‍රධානම එකා තමයි ඔයාගෙ ISP නොහොත් Internet Service Provider නොහොත් අන්තර්ජාල සේවා සපයන්නා. (ජල සම්පාදන එකේ උන්) ඒ මොකාද ඒ? ඒ තමයි එක්කො SLT, නැත්නම් Dialog, නැත්නම් Hutch, Airtel, Etisalat... අන්න උන් ටික. එයාලා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඔයාලට මාර්ගය හදලා දෙන්නේ (කාණුව කපලා දෙන්නේ) උන් නිකන් මොක්කුද වගේ කාණුව කපලත් දීලා කාණුවේ යන වතුර දිහත් බලන් ඉන්නවා. ඇයි ඒ?

අන්න ඒක තමයි අපිටත් ප්‍රශ්නෙ. අන්න එතනදි තමයි VPN එක අපිට උපකාර කරන්නේ.

VPN එකකින් වෙන්නෙ මොකක්ද? 

VPN එකකින් කරන්නෙ ඔයාගෙ ගෙදරට එන කාණුව මැද්දෙන් PVC බටයක් දාලා ඒක අස්සෙන් වතුර ගලාගෙන යන්න සෙට් කරලා දෙන එක. දැන් කාලා හමාරයි. අර ඇන්ටිලාට පේන්නෑ දැන් අපි පාවිච්චි කරන වතුර වල විස්තරේ. ජලසම්පාදනේ උන්ට පේන්නෙත් නෑ. උන්ට පේන්නෙ එකම දෙයයි, මෙයාලා වතුර මෙච්චර ප්‍රමාණයක් ගත්තා, හැබැයි ඒ වතුර බොර පාටද?, ඒ වතුර වල මාළු හිටියද? ඒ වතුර වල ක්ලෝරීන් තිබුණද? අනන් මනන් මොකවත් ඩීටේල් එකක් පේන්නෙ නෑ.

හරි, මේක උදාහරණ නැතුව අමුවෙන් කිව්වොත්, VPN එකෙන් කරන්නේ ඔයත්, අදාළ නෙට්වර්ක් එකත් (internet එක කියමුකො) අතර වෙන දත්ත ගලා යාම වෙන අයට නොපෙනෙන විදියට වහලා දාන එක. ඒක කරන්නෙ කොහොමද? ඒක කරන්නෙ Encryption වලින්. ඒ කියන්නෙ මොකක්ද? ඊළඟට බලමු!

Encryption යනු...

 
දත්ත Encrypt කරනවා කියන්නෙ මෙහෙම එකක්, 

ඔයයි ඔයාගෙ කෙල්ලට/කොල්ලටයි ඕන අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරන්න. හැබැයි අම්මා ඔය මැසේජ් කියෙව්වොත් ලෝක තොප්පියයි. ඉතින් ඔයා මොකක්ද කරන්නේ? ඔයයි ඔයාගෙ කෙල්ලයි කතා වෙනවා මෙන්න මෙහෙම හොර වැඩක් කරන්න. ඔයාලා දෙන්නා යවන මැසේජ් වලට පොඩි වෙනසක් කරන්න. ඔයාලා A අකුර වෙනුවට ගහන්නෙ B අකුර. B වෙනුවට ගහන්නෙ C අකුර, C වෙනුවට ගහ්න්නෙ D අකුර. හැම අකුරක් වෙනුවටම ඊට පස්සෙ තියෙන අකුර ගන්නවා. ඔන්න උදාහරණයක්.

Baba mama gedara awa. (Normal message)

Cbcb nbnb hfebsb bxb. (Encrypted message)
 
දැන් තේරෙනවද Encryption කියන වැඩේ බරපතළකම? එක අකුරක් එහෙ මෙහෙ කරාම එන ප්‍රතිඵලය තනිකර අණ්ඩර දෙමළයක් නෙ. 

මෙහෙමයි දැන් ඕක, කොල්ලා කෙල්ලට මැසේජ් එක යවනවා කියලා හිතමු. කොල්ලා කරන්නෙ මැසේජ් එක Encrypt කරලා ඒක කෙල්ලට යවනවා. කෙල්ල දන්නවා Encrypted message එක කියවන විදිය. එයා ඒක Decrypt කරලා, ඒ කිව්වෙ තේරෙන විදියට හරවලා කියවනවා.  අම්මා ඕක කියෙව්වා කියලා වැඩක් තියෙනවද? අම්මට පේන්නෙ කිසි තේරුමක් නැති ඉංග්‍රීසි අකුරු ගොඩක් විතරයි.

හබැයි මෙතන එක අවුලක් තියෙනවා. මොකද අම්මට පුළුවන් කෙල්ලගෙ නම්බර් එක බලාගන්න. ඒකට මේ උදාහරනේදි විසඳුමක් නැති වුණාට VPN එකකදි ඒකටත් විසඳුමක් තියෙනවා. 

VPN එකකදි ඇත්තටම වෙන වැඩේ

VPN එකකදි අර උදාහරණය apply වෙන්නෙ මෙහෙමයි. මැසේජ් එක යවන කොල්ලා තමයි ඔයාගෙ කම්පියුටර් එක / ඩිවයිස් එක. මැසේජ් එක අරන් යන අම්මගෙ ෆෝන් එක තමයි ISP. ඔයා කනෙක්ට් වෙන්න උත්සාහ කරන නෙට්වර්ක් එක තමයි කෙල්ල. එතකොට ෆෝන් නම්බර් එක IP address එක කියලා ගන්න පුළුවන් (බොහෝම සරලව.)

VPN එකෙන් ඔයාගෙ Device එකත් අදාළ නෙට්වර්ක් එකත් අතර හුවමාරු වෙන දත්ත Encrypt විතරක් නෙවෙයි Encapsulation එකකුත් කරලා තමයි යවන්නේ. (Encapsulation ගැන මම පස්සෙ කියලා දෙන්නම්.) ඒ වගේම IP address එකත් වෙනස් කරනවා. ඔයාගෙ ලොකේෂන් එකත් වෙනස් කරලා පෙන්නනවා. දැන් ISP ට මෙලෝ හසරක් පේන්නෙ නෑ.

මේ විදියට VPN එක කරන වැඩේ නිසා ඔයයි, අදාළ නෙට්වර්ක් එකයි අතර ඩේටා සන්නිවේදනය හරියට බටයක් අස්සෙන් යනවා වගේ. පිට කෙනෙක්ට බටයක් තියෙන බව පෙණුනත් ඇතුළෙන් යන්නේ මොනාද කියලා පේන්නෙ නෑ. 

ඒක හරියට ඔයාගෙ ඩිවයිස් එකයි, අදාල සර්වර් පද්ධතියයි අතරේ ඇත්තටම වයර් එකක් ඇදලා සම්බන්ධ කරලා හදන පෞද්ගලික ජාලයක් වගේ. ඒත් ඇත්තටම එහෙම වයර් එකක් ඇදලා නැහැනේ, අපි කරලා තියෙන්නේ අපේ දත්ත සන්නිවේදනය තුන්වෙනි පාර්ශවයකට බලන්න බැරි වෙන්න Encrypt කිරීමක් නේ. ඒත් මේක පේන්නෙ අන්න අර වගේ වයර් එකක් ඇද්දා වගේ නිසා, තමයි...

අපි මේකට Virtual Private Network කියලා කියන්නේ. හම්මෝහ්. මේක කියලා දෙන්න යන්න වුණු වටයක්. 
හරි, කොහොම හරි අන්න ඒකයි මේකේ කන්සෙප්ට් එක.

එතකොට කොහොමද අපි අර තහනම් කරපු Facebook එකට, VPN එකක් දාගෙන ගියේ?

දැන් ඔයා දන්නවනෙ ඔයාට ලැබෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එක කාණුවක් වගේ කියලා, ඒ කාණුව දිහා ISP කියන එකා බලාගෙනත් ඉන්නවා කියලා. මොකක් හරි හේතුවක් නිසා ඔය ISP ට ඕන නම් ඔය කාණුවේ හුවමාරු වෙන දෙයක් ඔයාට යන්න නොදී නවත්තන්න, ඒක කරන්න හරි පහසුවෙන් පුළුවන්. ඔයා Facebook ලොග් වෙලා ඉන්නවා කියමුකො, එතකොට ISP ට පේනවා මේ යකා දැන් Facebook ලොග් වෙලා ඉන්නේ කියලා. (වරදවා වටහාගන්න එපා, එයාලට බෑ ඔයා facebook එකේ කරන දේවල් බලන්න. ඒකට HTTPS වගේ එන්ක්‍රිප්ෂන් වෙනම යනවා. එයාලට පුළුවන් ඔයා ෆේස්බුක් එකේ තමයි දැන් ඉන්නේ කියලා විතරක් දැනගන්න) ඒ විතරක් නෙවෙයි, ඔයා යන ඕනම සයිට් එකක් ගැන ISP ට පේනවා, මොකද මේක කාණුවක් නෙ. 

ඉතින්, රජයට ඕන වුණාම යම්කිසි අඩවියට ඔයා පිවිසෙන එක වළක්වන්න, රජය කරන්නේ ISP ට කතා කරලා කියනවා, ඔන්න ඔය ඕකුන් ෆේස්බුක් යන එක නවත්තපන් කියලා. එතකොට ISP ත් මොකාද වගේ අර කාණුවේ හයි කරනවා දැලක්, නැත්නම් පෙරණයක්, නැත්නම් Filter එකක්. ඒකෙන් Facebook සයිට් එකෙන් එන්න දත්ත (පැකට්ටු) ෆිල්ටර් කරනවා. ෆේස්බුක් එකට යන්න හදන ඒවත් ෆිල්ටර් වෙනවා. ආන්න එතකොට අපි කියනවා අපිට ෆේස්බුක් බ්ලොක් කරලා කියලා.

ඔන්න දැන් තමයි වැඩේ, ඔයා දාගන්නවා VPN එකක්, කනෙක්ට් වෙනවා අදාල VPN එකට. දැන් ඔයාට තියෙන්නේ කාණුවක් නෙවෙයි PVC බටයක්. දැන් ISP දන්නෙ නෑ මූ මොනා කරනවද කියලා. ඇත්තටම ISP ට පේනවා යමක්, ඌට පේනවා ඔයා Encrypted connection එකකින් සර්වර් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. (VPN server එකට) ඒ සර්වර් එකට මොන මොනාදෝ යවනවා, ඒ සර්වර් එකෙනුත් මොන මොනාදෝ එවනවා. අන්න එච්චර තමයි පේන්නේ.  මේකා ලොග් වෙලා ඉන්නේ ෆේස්බුක් ද, මොකක්ද අනන් මනන් මෙලෝ දෙයක් පේන්නේ නෑ. 

ඉතින් දැන් කොහොමද ISP අදාළ ෆේස්බුක් සර්වර් එකෙන් එන Data Filter කරන්නේ? කරන්න බැහැ. එයා දාන් ඉන්න ෆිල්ටර් එකට අපි කරන වැඩ මුකුත් අහු වෙන්නේ නැහැ. ආන්න ඔහොමයි අපි ඒ කාලේ Facebook ගියේ.

***



හොඳයි එහෙනම් දැන් යම්කිසි අවබෝධයක් ඇතිනෙ මොකක්ද මේ VPN පලහිලව්ව කියලා. මම අනාගතයේ දවසක අරන් එන්නම් Encryption ගැන ලිපියක්. ඒ වගේම OpenVPN කියන තාක්ෂණය ගැනත්, ඒ වගේම හෙටම අරගෙන එන්නම් නොමිලේ භාවිතා කරන්න පුළුවන් ආරක්ෂිත VPN එකකුත්. ඒ පෝස්ට් එකේදි අපි තවදුරටත් VPN ගැන කතා කරමු.


ඇත්තටම, මේක ටිකක් බරපතල කතාවක්. මම VPN ගැන උඩින් අතගෑමක් විතරයි මේ කළේ. VPN ගැන වඩා පුළුල් අවබෝධයක් අවශ්‍ය කෙනෙක්ට ඉන්ටනෙට් එකේ වෙබ් අඩවි වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මේක මම ලිව්වේ VPN කියන්නෙ මොකක්ද නොදැන VPN පාවිච්චි කරන අයට ඒ ගැන යම් අවබෝධයක් ලබාදීම පමණයි. ඔයාලට මේ තල්ලුව ඇති, විශයට ආස කෙනෙක් නම් මේ තල්ලුවෙන් ඔයා ගොඩක් ඉස්සරහට යනවා. එහෙනම්, අදට සමුගන්නම්. ඔබට ජය!
Share:

Saturday, July 21, 2018

ෆේස්බුක් පරිශීලකයන්ට ඉන්ටනෙට් දෙන්න චන්ද්‍රිකාවක්.



පසුගිය අවුරුදු කීපයේ Facebook සමාගමෙන් ක්‍රියාත්මක වුණ ස්වයංක්‍රීය සූර්යබල ඩ්‍රෝන යානා මඟින් ඉන්ටනෙට් පහසුකම් නොමැති ප්‍රදේශ වලට ඉන්ටනෙට් ලබාදීමේ වැඩපිළිවෙල මේ අවුරුද්දේ මුලදි නතර කර දැමුණා.

ඒ වැඩසටහනේ අසාර්ථක වීමත් එක්ක දැන් Facebook සමාගම සූදානම් වෙන්නේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්නලු. මේ චන්ද්‍රිකාව මඟින් දුර්වල අන්තර්ජාල සබඳතා ඇති ප්‍රදේශ වලට සහ අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම නැති ප්‍රදේශ සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට නියමිතයි. ඒ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ නම ඇතීනා (Athena) බවත් සඳහන් වෙනවා.

ඩ්‍රෝන යානා මඟින් ඉන්ටනෙට් පහසුකම් ලබා දීම Facebook සමාගමේ වගේම Google සමාගමෙත් අදහසක් වෙලා තිබුණා. ඒත් Facebook වගේම Google සමාගමත් ඩ්‍රෝන යානා ව්‍යපෘති නවතා දැමුවා. Google සමාගම ඒ වෙනුවට Project Loon හෙවත් Hot air balloons මඟින් wifi හරහා අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම (ඔව් ඔව් ලංකාවෙ කරන්න ගියේ ඒක තමයි. :P ) සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල සේවා ලබාදෙන තුන්වන පාර්ශවයේ සමාගම් වෙත උපායමාර්ගික ආයෝජන කිරීම් සිදු කළා.
***
වාර්තා වල ආකාරයට ලෝකයෙන් හරි අඩකටම වගේ තවමත් අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ නැහැ. පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 100ත් 1250 ත් අතර උස ප්‍රමාණයකින් රඳවන චන්ද්‍රිකාවක් (low Earth orbit satellites) මඟින් එවැනි අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ වලට අන්තර්ජාල සැපයුම් ලබා දීම වඩා සාර්ථක වැඩපිළිවෙලක් බව තමයි වැඩි දෙනාගේ අදහස. 

දැනටමත් අපි හැමෝම දන්න ඉලෝන් මස්ක් ගේ SpaceX වගේ ප්‍රධාන සමාගම් වල ආයෝජනයෙන් චන්ද්‍රිකා මඟින් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙමින් තියෙනවා. කොහොම වුණත් Facebook සමාගම මේ උත්සාහ කරන්නේ ඉතින් එයාලගෙ සේවාව ව්‍යාප්ත කරලා වැඩියෙන් වෙළඳ දැන්වීම් වලින් හම්බ කරන්න තමයි. දැන් හැමෝටම තේරෙනවා ඇති, අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යවලා හරි Facebook ව්‍යාප්ත කරගන්න මෙච්චර දත කන්නේ Facebook එකෙන් ලබන්න පුළුවන් අතිශය සුවිසල් ආදායම නිසා බව.  ඉතින් තේරෙනවනෙ මේ කරුමාන්තේ බරපතළකම.

තවත් පෝස්ටුවකින් හමුවෙමු, ජය!
Share:

Friday, July 20, 2018

මෝටීන් ෆාස්ට්කිල් පිටුපස රසායනය

ඔයාලා බලනවා ඇති මොකක්ද මේ අමුතු පෝස්ට් එක කියලා නේද? මට ඉස්සර ඉඳන් තිබුණ ප්‍රශ්ණයක් තමයි මෝටීන් ෆාස්ට්කිල් වගේ වස ජාති කෘමියන්ට අතිශයින්ම විශ සහිත වුණාට ඇයි එයින් ලොකු බලපෑමක් මිනිස්සුන්ට නැත්තේ කියන එක. මම ඒ ඇයි කියලා හොයන් යද්දි හම්බුණ දේවල් මම මෙහෙම ලියලා තියන්නම්, තව කාට හරි වැදගත් වේවි.


මෝටීන් ෆාස්ට් කිල් වල බර අනුව ප්‍රතිශත වශයෙන් ඉතා කුඩා පමණින් ඉමිප්‍රොත්‍රින් (Imiprothrin) 0.07% සහ සයිපර්මෙත්‍රින් (Cypermethrin) 0.2% අඩංගු වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය දෙකම කෘමීන්ට බලපාන්නේ Neurotoxin  එකක් (නියුරොටොක්සින් - ස්නායු පද්ධතියට බලපාන විෂ රසායන ද්‍රව්‍යයක්) විදියට.

ඉමිප්‍රොත්‍රින් (Imiprothrin)

ඉමිප්‍රොත්‍රින් සාන්ද්‍ර අවස්ථාවේ කහ පැහැතු උකු දියරයක් විදියටයි පවතින්නේ. විශේෂත්වයක් වෙන්නේ මෙයින් මිහිරි සුවඳක් වහනය වීම. මේ රසායන ද්‍රව්‍ය සමහර යුරෝපීය රටවල් වල කෘමිනාශකයක් ලෙස භාවිතා කරන්න අවසර ලබා දීලා නැහැ.

ඉමිප්‍රොත්‍රින් අයත් වෙන්නේ පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) කියන රසායනික ද්‍රව්‍ය කාණ්ඩයටයි.

සයිපර්මෙත්‍රින් (Cypermethrin)


සාන්ද්‍ර අවස්ථාවේ ලා කහ පාට දියරයක් වශයෙනුයි මේවා තියෙන්නේ. බොහෝ යුරෝපීය රටවල මෙම රසායන ද්‍රව්‍ය කෘමිනාශකයක් ලෙස භාවිතයට අවසර ලබා දීලා තියෙනවා.

සයිපර්මෙත්‍රින් (Cypermethrin) කියන්නෙත් පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) කාණ්ඩයේ රසායන ද්‍රව්‍යක්.
***

අපි ඉහතින් කතා කරපු රසායන ද්‍රව්‍ය දෙකම අයත් වෙන්නේ පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) රසායනික ද්‍රව්‍ය කාණ්ඩයට නිසා අපි බලමු මොනාද මේ පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය කියන්නේ කියලා.

පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids)


පයිරත්‍රම් (Pyrethrum) කියන Chrysanthemum කුලයේ මල් වලින් නිපදවාගන්නා ස්වභාවික කෘමිනාශකයට සමානව මිනිසා විසින් කෘතිමව නිපදවපු රසායන ද්‍රව්‍ය කාණ්ඩයක් තමයි පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) යනුවෙන් හැඳින්වෙන්නේ.

  • මේ රසායන ද්‍රව්‍ය කාණ්ඩය ක්ෂීරපායීන්ටත්, කුරුල්ලන්ටත් විශ සහිත වෙන්නේ මඳ වශයෙන් පමණයි. 
  • මේ රසායන ද්‍රව්‍යය ජලජ පරිසර වලට මුදාහැරීම ජලජ ජීවීන්ට බොහෝසෙයින් හානිකර බවත් දැක්වෙනවා.
  • විශේෂයෙන්ම ආත්‍රපෝඩා වංශිකයන් මරා දමන්න මෙයින් අවශ්‍ය වෙන්නේ ඉතා කුඩා මාත්‍රාවක් පමණයි.
  • ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන රසායන ද්‍රව්‍යක්.  
  • බොහොමයක් පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය, ඉසීමෙන් පසු වියළී ඉතිරි වන අවශේෂ මත ගමන් කරන කෘමියන් පවා විනාශ කර දමනවා. 
  • ජලයේ ඉතා මඳ වශයෙන් ද්‍රාවයයි.
පයිරත්‍රොයිඩ්ස් (Pyrethroids) කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය කෘමීන්ගේ උච්චර්මයට උරාගනිමින් ඒ හරහා හරහා ස්නායු පද්ධතිය වෙත ගමන් කරනවා. පසුව සෘජුවම කෘමීන්ගේ ස්නායු අක්සන (Axions) මත ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාවලිය හේතුවෙන් කෘමීන්ගේ ස්නායු පද්ධතියේ hyperexcitation එකක් නොහොත් අධි උත්තේජන තත්වයක් ඇතිවෙනවා. මේ දේවල් වල ඵලය වෙන්නේ කෘමියා paralyze වීම (පක්ෂඝාත තත්වයට පත්වීම) හා අවසන් වශයෙන් ක්ෂණික මරණයකට පත්වීමයි.
***
මිනිසා ඇතුළු ක්ෂීරපායීන්ට වඩා සංවේදී, සියුම් ස්නායු පද්ධතියක් කෘමීන් සතුයි. අන්න ඒ හේතුව නිසයි මේ කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය කෘමියන්ට අතිශයින්ම විශ සහිත වෙන්නේ.

එහෙනම්, ඔන්න ඕකයි මෝටීන් ෆාස්ට්කිල් වල කතාව. මේ ගැන ඔයත් දන්න දේවල් මට කියන්න, වැරදි ඇත්නම් පෙන්නලා දෙන්න භාවිතා කරන්න පහළ තියෙන කමෙන්ට් ඔප්ෂන් එක. ඒ වගේම මේ වගේ දේවල් හොයන්න ගිහින් තමන්ට හානියක් කරගන්න එපා කියලත් මතක් කරනවා. මොකද වස විෂ කියන දේවල් හොඳ දේවල් නම් නෙවෙයි.

මෝටීන් ෆාස්ට් කිල් වල තියෙන්නේ මඳ වශයෙන් මනුශ්‍යන්ට හානිකර විස ජාති කියලා සමේ තවරාගන්න යන්න වත්, ආඝ්‍රහණය කරන්න වත් යන්න එපා. මොකද මේ දේවල් ගැන තවමත් පරීක්ෂණ සිදු කෙරෙනවා. මොන මොන විදියේ අතුරු ආබාධ එනවද කියලත් අපි හරියටම දන්නෙ නැහැ. වඩාත් සුදුසු වෙන්නේ අදාළ නිෂ්පාදනයේ සඳහන් ආරක්ෂක උපදෙස් පිළිපැදීමයි.

තවත් විද්‍යාව හා තාක්ෂණයට සම්බන්ධ පෝස්ටුවකින් මුණගැහෙමු! ඔබට ජය!

*** 
Share:

Thursday, July 19, 2018

මොනාද මේ 32bit සහ 64bit කියන්නෙ?

අද උත්සාහ කරන්නේ අපි හැමෝම දන්නවා වගේ ඉන්න, ඒත් නොදන්න දෙයක් ගැන කියලා දෙන්න. එහනම්... පටාන් ගමු. 

බිට් එකක් කියන්නෙ මොකක්ද?

මේ පෝස්ට් එකේ මුල් ටිකට ගණිත දැණුම අවශ්‍යයි. ගණිතය වහ කදුරු වගේ අය මේ ටික මඟහැරලා අර රතු පාට අකුරු ගාවට යන්න.
මනුශ්‍යයන් වුණ අපි ගණන් හදනකොට එක එක ඉලක්කම් භාවිතා කරාට කම්පියුටර්, ෆෝන් වගේ සියළුම ඩිජිටල් උපකරණ ගණනය කිරීම් වලට භාවිතා කරන්නේ 1 සහ 0 කියන ඉලක්කම් දෙක. මේ ඉලක්කම් දෙකින් කුමක් හෝ  එකක් එක බිට්ටුවක් (Single bit) ලෙස සැලකෙනවා.

bit 32 සහ bit 64 හැදෙන්නෙ කොහොමද?

 

ඒ කියන්නේ, බොහොම සරලව එක බිට්ටුවකට අගයන් දෙකක් තියෙන්න පුළුවන්. එක්කෝ 1 නැත්නම් 0 වශයෙන්. එතකොට, එපි ඒකට කියනවා Single Bit (1-bit) Computing කියලා. අපි හිතමු එතකොට, බිට්ටු දෙකක් සහිත, ඒ කිව්වේ 2-bit computing වල මේ අගයන් හතරකුත්, 3-bit computing වල මේ වෙනස් වන 0 හෝ 1 වශයෙන් අටකුත් වශයෙන් අගයන් ලබාගන්න පුලුවන්.

මෙන්න මේ අගයන් යන්නේ දෙකේ බලයන් විදියට බව පහත රූපය අධ්‍යනය කරලා ඔයාට වටහාගන්න පුළුවන් වේවි.
ඉහත රූපයේ දෙකේ පළමු බලය කියන එක සමාන වෙන්නේ 1-bit කියන යෙදුමටයි. එතනදි ගබඩා වෙන්නේ එක්කෝ ඕෆ් එක්කෝ ඔන් කියන විධාන දෙකෙන් එකක් විතරයි. එහෙම නැත්නම් මේ ද්වීමේය සංඛ්‍යා දහයේ පාදයට හැරෙව්වොත් අංක 1 සහ 0 දෙකෙන් කුමක් හෝ එකක් තනි බිට්ටුවකින් නිරූපනය කරන්න පුළුවන්.

ඒ වගේම ඉහත රූපයේ දෙකේ දෙවැනි බලය සැලකුවොත්  එයින් අවථා හතරක්, එහෙමත් නැත්නම් ඉලකම් හතරක් ගැන කියවෙන බව පෙනේවි.

01 යන්නෙන් දහයේ පාදයේ 1 ත්, 00 යන්නෙන් දහයේ පාදයේ 0 ත්, 11 යන්නෙන් දහයේ පාදයේ 3 අගයත්, සහ 10 යන්නෙන් දහයේ පාදයේ 2ත් නිරූපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ, 0,1,2,3 යන ඉලක්කම් හතරම බිට්ටු දෙකකින්, එහෙමත් නැතිනම් 2-bit බ්ලොක් එකකින් ලබාදෙන්න පුළුවන්.

ඔයාලා ගණන් හදලා බලන්න, 3-bit බ්ලොක් එකකින් එහෙමත් නැතිනම් බිට්ටු 3 කින් ඉලක්කම් 8ක් හෝ අවස්ථා 8ක් නිරූපණය කල හැකි බව පෙනේවි. මේ අගය දෙකේ පාදයේ බලයන් වලින් පහසුවෙන් ගණනය කරගන්නත් හැකි බව පෙනේවි.

එතකොට ඉහත ආකාරයටම බිට්ටු 4කින් (4-bit, එනම් 24 = 16) අවස්ථා 16ක් හෝ සංඛ්‍යා 16ක් නිරූපණය කළ හැකි බවත් ඔයාට ගණන් හදාගන්න පුළුවන්.

එතකොට, ඒ ආකාරයෙන්ම,

32 bit කියන්නේ 232 = 4,294,967,296 (4 Gigabytes) කියන අති විශාල සංඛ්‍යා ප්‍රමාණයක් හෝ අවස්ථා ප්‍රමාණයක් ගබඩා කළ හැකි block එකක් බවත්, 64 bit කියන්නේ 264 = 18,446,744,073,709,551,616 (16.8 million Terabytes) කියන අතිශය විශාල (තඩි, දඩාර හෝ ඔබ කැමති යෙදුමක්) සංඛ්‍යා ප්‍රමාණයක් හෝ අවස්ථා ප්‍රමාණයක් ගබඩා කළ හැකි block එකක් බවත්

ඔබට පෙනේවි.

දැන් ඔයාලට තේරෙනවා ඇති, ප්‍රොසෙසර් එකක් හෝ වේවා කිසියම් චිප් එකක 32-bit සහ 64-bit කියන දෙක අතර වෙනස අහසට පොළොව වගේ එකක් බව. Computing power එකේ කොච්චර නම් වෙනසක් තියෙනවද කියන එක. ඇත්තටම 32 bit කියන එකේ දෙගුනය නෙවෙයි 64 bit කියන්නෙ, ඊට වඩා සෑහෙන්න විශාල ප්‍රමාණයක් බව ඔයාට දැන් පෙනේවි.

32-bit Processor එකක් යනු...


1990 ගණන් වෙනකන්ම ලෝකේ නිපදවුණේ 32-bit වර්ගයේ processors තමයි. මේ processors වල Datapath වල පළල, integer size එක සහ Memory address වල පළල බිට් 32ක් පමණ වෙනවා*. ඔයාලා දන්න Intel Pentium වර්ගයේ processors, 32-bit processors වලට හොඳ උදාහරණ සපයනවා. ඒ වගේම Windows 95, 98, and XP යන Windows මෙහෙයුම් පද්ධති අර කිව්ව වර්ගයේ 32-bit processors වලට ගැලපෙන්න හැදුව 32-bit Operating Systems වලට උදාහරණ වෙනවා.

32-bit OS එකක් සහය දක්වන්නේ 4GB රැම් එකකට පමණයි. ඊට වඩා RAM ධාරිතාවයකට සහය දෙන්න 32-bit OS එකකට බැහැ. ඒ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන් අර තද රතු අකුරු වලින් ලියලා තියෙන එක ආයෙත් කියෙව්වොත්.

(* අර රතු පාටින් ලියවුණු කොටස මෙහෙම පැහැදිලි කරන්නම් පහසු වෙන්න. 32-bit size integer එකක් කියන්නෙ 0 ඉඳන් 4,294,967,295 දක්වා අගයක්. මොකක් හරි ගණනය කිරීමකදි මේ අගය ඉක්මවා ගියොත් වෙන්නේ integer overflow කියන සංසිද්ධිය. ඒකෙදි වෙන දේවල් මේක අස්සේ ගහලා මේ පෝස්ට් එක තවත් දික් නොකර ඉමු.)

64-bit Processor එකක් යනු...


1961 වගේ ඉඳන්ම 64-bit processors ගැන කතාබහක් තිබුණට 64-bit processors සාමාන්‍ය භාවිතයට එන්න ගත්තේ 2000 දී Microsoft සමාගම Windows XP වල 64-bit සංස්කරණයක් ඉදිරිපත් කිරීමත් එක්කයි. මේකේ වෙනස කලින් වගේම Datapath වල පළල, integer size එක සහ Memory address වල පළල බිට් 64ක් පමණ වීම තමයි.

64-bit OS එකකට පුළුවන් න්‍යායිකව Exabytes 16  ක රැම් ධාරිතාවක් හසුරුවන්න. (1 Exabytes = 1073741708.03 Gigabytes. ඇඬෙනවනේ?) ඒත් දෙයියන්ගෙ නාමෙට එච්චර RAM තොගයක් කොහෙ ගොඩගහන්නද නේද? කියන්න බෑ අනාගතේ ඒ සයිස් RAM ඒවි ඉතින්.

Athlon 64 කියන AMD ප්‍රොසෙසර් එක තමයි සාමාන්‍ය පාරිභෝගිකයන් අතර සාර්ථක වුණ පළමු 64-bit ප්‍රොසෙසර් එක. (2003 සැප්තැම්බර් වල) ඒ වගේම  Gallatin (Extreme Edition) කියන Intel Pentium 4 ප්‍රොසෙසර් එකත්-64 bit ප්‍රොසෙසර් එකක් වශයෙන් එළිදැක්වුණා. 

***

32-bit Processor එකක් සහිත පරිගණකයක හෝ කිසියම් උපාංගයක 64-bit Operating System එකක් ස්ථාපනය කළ නොහැක. එමෙන්ම 64-bit ප්‍රොසෙසරයක් සහිත උපාංගයකට 32-bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කළ හැකි වුවත් එම ප්‍රොසෙසරයේ සම්පූර්ණ කාර්යක්ෂමතාව ලබාගත නොහැක.

එතකොට මොකක්ද x64 හෝ x86 කියන්නේ?


අපි මුලින්ම කතා කළොත් ඇයි 32-bit වලට x86 කියන්නෙ කියලා, ඒක මෙහෙමයි. Windows Vista කියන Microsoft මෙහෙයුම් පද්ධතිය ආවෙ ඔය 32-bit වල ඉඳන් 64-bit වලට හැමෝම මාරුවෙන්න ගත්ත කාලෙ. Microsoft සමාගම Windows Vista 64-bit සංස්කරණයේ ඉඳන් අපි ඒකට ඉන්ස්ටෝල් කරන 32-bit software වල දත්ත තැම්පත් කරන්න හැදුව ෆෝල්ඩර් එකේ නම වුණේ "Program Files (x86)" කියන එක. 

ඇත්තටම එතන x86 කියන්නෙ ඉන්ටෙල් සමාගමින් නිෂ්පාදනය කරපු ප්‍රොසසර් එකක නමක්. ඒක තමයි Intel 8086. ඒ සීරීස් එකේ ආව සාර්ථක processors තමයි Intel 80186, 80286, 80386 සහ 80486 කියන්නේ. මෙන්න මේ ඔක්කොම අවසන් වෙන්නේ 86 න් නිසා ඒ Processor Architecture එකට x86 කියන නම ඉබේම පටබැඳුණා. අදටත් 32-bit චිප්ස් අන්න ඒ නමින් හඳුනවන්නේ අන්න ඒ හේතුව නිසා.

ඒ ස්ටයිල් එකටම යමින් තමයි 64-bit ප්‍රොසෙසර් වලටත් x64 කියන නම වැටුනේ. ඇත්තටම ඒක තේරුමක් ඇතුව වැටුණු නමක් නෙවෙයි.

ඔයාගේ PC එක 32-bit ද 64-bit ද?

ඔයා පාවිච්චි කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියක් නම්, My Computer අයිකන් එක උඩ Right Click කරලා Properties ගියාම බලාගන්න පුළුවන් ලේසියෙන්ම ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය 64 බිට් ද 32 බිට් ද කියලා.

ඔහොම බලද්දි ඔයා දැක්කොත් ඔයාගෙ OS එක 32-bit කියලා, ඔන්න එතකොට අපි තව පරීක්ෂණයක් කරන්න යන්න ඕන. මොකද, අපේ සමහර Computer Shop වල ඉන්න අයියලා, දන්නවා වැඩි නිසා 64-bit ප්‍රොසෙසර් තියෙන PC / Laptop වලටත් දෙයියනේ කියලා 32-bit OS එකක් පතබාලා දානවා. එහෙම වුණාම ඔයාට ඕකෙ 64-bit software දාන්නත් බෑ, performance එකත් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්.

අන්න ඒ නිසා මෙන්න මේ Software එක දාගෙන බලන්න ඔයාගෙ processor එක ගැන විස්තරේ.


ඔයාගෙ Processor එක 64-bit එකක් කියලා මේකෙන් පෙන්නුවොත්, වඩා හොඳයි ඔය OS එක wipe කරලා, අලුතින්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්න එක.

ඔයා පාවිච්චි කරන්නෙ Ubuntu / Linux Minit / Elementary OS වගේ Linux Based මෙහෙයුම් පද්ධතියක් නම් uname -a කියන කමාන්ඩ් එක Terminal එකේ රන් කරලා ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ Processor Architecture එක. ඒකෙන් එන අවුට්පුට් එකේ අන්තිම හරියේ x86_64 කියලා එනවා නම් ඔයාගෙ OS එක 64-bit තමයි. x86 කියලා විතරක් නම් එන්නෙ ඒක 32-bit. (OS එක 64-bit කියන්නෙ ඉතින් processor එක 64-bit වෙන්න එපැයි, මම මේක ගැන වැඩි විස්තර නම් කියන්න යන්නෑ මොකද Linux Based OS එකක් පාවිච්චි කරන එකෙක්ට මම හිතන්නෑ මේවා ඇන ඇන ක්‍යලා දෙන්න ඕන කියලා :P )

ඔයාගේ Smartphone එක 32-bit ද 64-bit ද?


64-bit processor එකක් සහිත, අපිට දැකගන්න පුළුවන් පළමු Smartphone එක වෙන්නේ Apple 5S කියන ෆෝන් එකයි. A7 චිප් එක තමයි, ඒ පළමු 64-bit Smartphone එකේ තිබුණේ. ඒ ෆෝන් එක Release වුණේ 2013, සැප්තැම්බර් වලදි.

පළමු 64-bit Android Smartphone එක වෙන්නේ අපි කවුරුත් දන්න HTC Desire 510 කියන Mid-Range ෆෝන් එක. බජට් ප්‍රයිස් එකක් එක්ක තමා ආවෙ. ඒ 2014, සැප්තැම්බර්.

ඔයා පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම් ඔයාට පහසුවෙන් පුළුවන් මෙන්න මේ මම පහතින් දෙන ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන, ඔයාගෙ ෆෝන් එක 32-bit ද 64-bit ද කියන එකත් ඇතුළුව, Phone එකේ ලොකු විස්තරයක් බලාගන්න.


 ***
එහෙනම් අදට නවතින්නම්, තවත් දිග පෝස්ට් එකක් වුණා මේක. මේ කන්ටෙන්ට් එකේ මොකක් හරි වැරැද්දක් දක්කොත් මට වහාම දැනුම් දෙන්න, කමෙන්ට් කරන්න. මම ඉක්මනින් ඒක නිවැරදි කරන්නම්. ස්තුතියි! නැවතත් මුණගැහෙමු. ඔබට ජය!
Share:

Search This Blog

Follow by Email

Blog Archive